අත්වැරදීමකින් ඉන්ධන වර්ගයකින් මුහුණ සේදීමෙන් ඇති වූ ආසාත්මිකතාවකට මුහුණ දුන් තරුණයකුට ප්‍රතිකාර ගැනීමට ආ පිරිසකට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සඳහා කණ්ඩායම් දෙකක් මැණික්හින්න රෝහලට පිටත් කර යැවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවැසීය.

මෙම සිද්ධිය සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉතා ලජ්ජා සහිත එකක් බවත් විමර්ශනයේදී ඔවුන් වැරැදිකරුවන් වුවහොත් රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.ම

ේ වන විටත් වෛද්‍ය සේනක තලගල මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (29) පෙරවරුවේ මැණික්හින්න රෝහලට යවා ඇත.මෙම ගැටුම හේතුවෙන් රෝහලේ ප්ලාස්ටික් පුටු, රෝගීන් ගෙන යන රෝද පුටු, රෝහල් දොර ජනෙල් ඇතුළු බඩු භාණ්ඩවලට දැඩි හානි සිදුව තිබේ. ගැටුමින් රෝගියා රැගෙන ආ ත්‍රිරෝද රියට මෙන්ම එහි නවතා තිබූ තවත් මෝටර් රථයකටද හානි සිදුව තිබේ.ගැටුමින් තුවාල ලැබූ රෝහල් සේවකයන් තිදෙනකු සහ රෝගියාගේ ඥාතීන් හය ඥාතීන් හය දෙනකු දැනට පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

මැණික්හින්න නගරයේ ක්‍රීඩාංගනයක පැවැති අවුරුදු උත්සවයක සිටි තරුණයන් පිරිසක් අතර සිටි අයකු ත්‍රිරෝදයක තිබූ ඉන්ධන බෝතලයකින් මුහුණ සේදීම නිසා ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට පැමිණි අවස්ථාවේ මෙම ගැටුම සිදුව ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.ඒ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු බැණ වැදීම නිසා දෙපිරිස අතර බහින්බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත. ගැටුම නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් රෝගියාටත් ඔවුන් රැගෙන ආ ඥාතීන්ට සහ හිතමිතුරන්ට පහරදුන් බව එම පිරිස පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

රෝහලේ යකඩබට, පුටු, ගල්මුල් වලින් පහරදුන් බව පහර කෑමට ලක්ව තුවාල ලබා දැනට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද එරංග නමැත්තා පැවැසීය.

පහරදුන් පිරිස රෝහල් සේවක නිල ඇඳුම නොව මැණික්හින්න රෝහල නමින් සඳහන් ටීෂට්වලින් සැරසී සිටි බව පහර කෑමට ලක් වූවෝ පවසති. පහර දුන් පිරිස අතර එවැනි කමිසයකින් සැරසී වෙද නලාවක් කරේ දමාගත් පුද්ගලයකු ද සිටි බව පහර කෑමට ලක් වූවෝ පවසති. දෙපිරිස ගුටිබැට හුවමාරු කර ගනිද්දී ප්‍රදේශයම යුද පිටියක් බවට පත් වූ බවත් රෝහලේ සිටි නේවාසික රෝගීන් සී සීකඩ දිව ගිය බව අසල්වාසීහු පැවැසූහ.එසේ රෝගීන් මර හඬ දෙමින් දිව යද්දී අසල සිටි පුද්ගලයෙකු වහා ක්‍රියාත්මක වී පොලිස් මූලස්ථාන හදිසි ඇමැතුම් ඒකකයට, පළාත් ආණ්ඩුකාරවරයාට, මැණික් හින්න පොලිසියට සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ක්ෂණිකව දැනුම් දී ඇත.මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමතින් සිටි බවට රෝගියාගේ පාර්ශවයෙන් කරන චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

රෝහල් සේවකයන් පවසා ඇත්තේ රෝගියකු සමග ආ පිරිසක් රෝහල් කාර්ය බාර නිලධාරිවරයා සහ සාත්තු සේවිකාවන්ට පහරදුන් බවයි.ම

ේ සම්බන්ධයෙන් රෝහල් කාර්ය බාර නිලධාරී ඩබ්ලිව්.සී.කේ. වීරපාන මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. " සිද්ධිය වූ දින රෝහලේ අවුරුදු උත්සවයක් තිබුණා. ඉරිදා නිවාඩු දිනයක් වුවත් සේවයට ආවා" යැයි පැවැසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් පළාත් සෞඛ්‍ය නිලධාරීන් හා පරීක්ෂණයකට යොමු වී සිටින නිසා ප්‍රකාශයක් ගැනීමට නොහැකි විය.සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මැණික්හින්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.