rihana-lesson

රිහානා කියන්නේ ලෝකේ ධනවත්ම ගායිකාව, පහුගිය දවසක රිහානා අම්මා කෙනෙක් වුණා, ගර්භණී සමයෙදිත් ඇය ගැබිනි මවක් විදියට ඇයටම ආවේණික විලාසිතාවලින් හැඩවුණු නිසා රිහානාගේ ගර්භිණී පෙනුම ගැන ඒ කාලේ හැමෝම වගේ කතා කළා,
ඇමරිකාවේ රිහානා එහෙම ලස්සනට හිටියට මොකද අපේ රටවල තියෙන දුර්මත නිසා අපේ ගැබිනි අම්මලා ඔය කාලෙට කොණ්ඩේ පීරන්නෙත් හිතේ බයෙන්. සමහරු ලස්සන ගැන හිතන එක අතඇරලාම දානවා. ඒ අයටත් මේ ලිපිය වැදගත්.
හෝර්මෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට ගැබිනි අම්මා කෙනෙක්ගේ මුළු ශරීරයම වගේ වෙනස් වෙන්න ගන්නවා. සම, හිසකෙස්, ශරීර බර, හැඩය ඔය හැමදේම වෙනස් වෙනවා. කවදාවත් මූණේ කුරුලෑ නොතිබිච්චි අයට කුරුලෑ එන්න ඉඩ තියෙනවා. සමහරුන්ගේ සම කළු වෙනවා. ඒ වගේම තිබ්බට වඩා පැහැපත් වෙලා සම දිලිසෙන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් ගර්භිණී කාලෙත් හැම කාන්තාවක්ම තමන්ගේ රූපය ගැන හිතන්න ඕනේමයි. එහෙම නැතිව ඉඳලා ඔය කාලෙදි පෙනුම ගැන හීනමානයක් ඇති වුණොත් ඒ මානසික පීඩනය දරුවට පවා බලපාන්න පුළුවන්.
හැබැයි සමට සහ හිසට ආලේප කරන හැමදෙයක්ම අපේ රුධිරයට උරාගන්නවා. ඉතින් බැස්වෙලාවක්වත් අපි දරුවට අහිතකර දෙයක් ආලේප කළොත් ඒක එයාට අහිතකර විදියට බලපානවා. ඒ නිසා තමා ඔය කාලෙට කරන දෙයක් පරිස්සමට කරන්න ඕනේ කියන්නේ.
රසදිය, බ්ලීචිං, ස්ටෙරොයිඩ් අඩංගු ආලේපන වර්ග නම් ගාන්නම එපා දෙයියෝ.
ඒවගෙන් කුසේ ඉන්න දරු පැටියට බරපතළ හානි ඇතිවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු හොයාගෙන තියෙනවා.


ඒ වගේම පැරටීන්(Parabean), සාලිසිලික් ඇසිඩ් (Salycylic acid), රෙනෝල් (Retinol), ෆෝමැල්ඩිහයිඩ් (Formaldehyde), ටොලුයින් (Toluene), ඩයෙතොලමයිනඩ් (Diethylamide) වගේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන රූපලාවණ්‍ය රසායන පවා බබාට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා අම්මලා සමේ, කොණ්ඩේ ගාන්න ආලේපන ගන්නකොට ඒ කිව්ව ඒවා තියෙනවද කියලා හොඳට කියවලා බලන්න. එහෙමත් නැතිනම් හොඳම දේ ඒ කාලෙට කහ, සුදුහඳුන්, කෝමාරිකා, වෙනිවැල්කැට වගේ ස්වභාවික දේ විතරක් සමේ ගාන එක. මාසෙකට සැරයක් සැලෝන් ගිහින් කෙමිකල් ෆේෂල් කළා නම් ඒ වෙනුවට ස්වභාවික ෆේෂල් එකක් කරන්න කියලා රූපලාවණ්‍ය ශිල්පියාට කියන්න.
හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා ගැබිනි අම්මා කෙනෙක්ගේ බෙල්ල එහෙමත් කළු වෙන්න පුළුවන්, දරු ප්‍රසූතියෙන් කාලෙකට පස්සේ ඒක ඉබේටම ඇරිලා යනවා. ගැබිනි කාලෙම ඔය තත්ත්වය ටිකක් අඩු කරගන්න ඕනේ කියලා හිතනවා නම් දිනපතාම නැවුම් කිරිවලින් දෙපාරක් බෙල්ල පිරිසුදු කරලා අලිගැටපේර මදයක් හරි අර්තාපල් යුෂ ටිකක් හරී ගාන්න.
ඔය කාලෙට සම වෙනදට වඩා ටිකක් වැඩිපුර වියැළෙන්න බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දවසකට වතුර ලීටර් 2ක්වත් බොන්න අමතක කරන්න එපා. ඒ වගේම සමට හිතකර මොයිස්චරයිසින් ක්‍රීම් එකක් පාවිච්චි කරන එකත් වැදගත්.
ගැබිනි සමයෙදි සමේ ලප, ස්ට්‍රෙච් මාර්ක්ස් වගේ දේත් ඇතිවෙන්න පුළුවන්. ඔය කාලෙට ඇතිවෙන ලප ප්‍රසූතියෙන් පස්සේ පහව ගියාට ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වුණොත් නම් සුව කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙන එක වළක්වාලන එකයි නුවණක්කාර වැඩේ.
ප්‍රෙග්නන්ට් වුණු දවසේ ඉඳලාම ඉණ, පියයුරු, උදරය වගේ ස්ට්‍රෙච් මාර්ක්ස් එන්න පුළුවන් තැන්වල ඔලිව් නැත්තම් සුපිරිසුදු පොල්තෙල් වගේ තෙල් වර්ගයක් ගාලා මෘදුව සම්බාහනය කරන්න. ඒ වගේම ඒ තැන්වලත් දිනපතාම මොයිස්චරයිසින් ක්‍රීම් ගාන්න. ඒකෙන් ඔය ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙන එක වළක්වගන්න පුළුවන්.


තව ඔය කාලෙට බොහොම ඉක්මනින් ඇස් යට කළුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පැය අටක් නිදාගන්න බලන්න. ඒ කාලෙට නිදාගන්න එක අමාරුයි තමයි. හැබැයි උත්සාහ කරලා බලන්න කියලයි අපි කියන්නේ.
හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා ගැබිනි කාලෙට වෙනදට වඩා නියපොතු වැවෙනවා. ඒ නිසා සතියකට වතාවක් නියපොතු කපන්න. සීනියි කෝපි කුඩුයි මිශ්‍ර කරලා කකුල්, අත, පය ස්කූබ් කරන්න. ඔය කාලෙට මෙනික්‍යු පෙඩිලූ කරන එක බොහොම හොඳලු සමහර නිය ආලේපනවල ෆෝමැල්ඩිහයිඩ් සහ ටොලුයින් අඩංගු නිසා නිය ආලේපන නම් නොගාන තරමට හොඳලු.
හෝර්මෝනවල තවත් ප්‍රතිඵලයක් විදියට අම්මලාගේ කෙස් ඝනවෙලා ශක්තිමත් වෙනවා. ඒක හොඳ දෙයක් තමයි. හැබැයි කෙටි කොණ්ඩා විලාසිතාවකට යන්න හිටියා නම් මේක තමයි හොඳම කාලේ. එතකොට කොණ්ඩේ එක්ක අම්මට නටන්න ඕනෙත් නෑනේ.
කෙස් පාට කරන්න, ස්ට්‍රේට්, ර්බෝන්ඩින් වගේ දේ කරන්න හිතනවානම් මුල් ත්‍රෛමාසිකය පහුවෙනකල් ඉන්න වෙනවා. ඊටපසසේ වුණත් ඒ දේවල් කරන්න යනකොට තමන් ප්‍රෙග්නන්ට් බව අනිවාර්යයෙන්ම රූපලාවණ්‍ය ශිල්පියාට කියන්න. එතකොට හිසේ සමට රසායනික දෑ මුහු නොවන විදියට වැඩේ කරන්න ඔවුන් වගබලාගන්නවා.
අපි පාවිච්චි කරන සස්ක්‍රීම්වල අඩංගු ඔක්සිබෙන්සෝන් (Oxybenzone), ඔක්ටොක්‍රයිලීන් (Octocrylene) වගේ දේ දරුවට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා දිනපතා සස්ක්‍රීම් ආලේප කරපු කෙනෙක් නම් ගැබ්ගත්තු හැටියේ චර්ම වෛද්‍යවරයෙක් මුණගැහිලා ඒවා අඩංගු නොවන සස්ක්‍රීම් එකක් නිර්දේශ කරගන්න එකත් වැදගත්.


ගමනක් බිමනක් යනකොට වෙනදා වගේම ලිස්ටික් ටිකක්, පවුඩර්, මස්කාරා වගේ දේ ගෑවට දරුවට හානියක් නැහැ. ඒ වගේම උදරයේ හැඩය ලස්සනට පේන ඇඟට සුවපහසු ප්‍රියමනාප ඇඳුම් අඳින්න. හැබැයි ගැබ්ගත්තු දා ඉඳලම අඩි උස පාවහන් නම් පළඳින්න එපා. අඩි පාවහන් කොන්දට බලපාන නිසා ඒක දරුගැබට හානිකර වෙන්න පුළුවන්.
ගැබිනි කාලේ ඇස් කාච, කෘත්‍රිම ඇහි පිහාටු දැම්මට කමක් නැහැ. හැබැයි බොටොක්ස්, ෆිලර්, කෙමිකල් පීලින්ග් වගේ රූපලාවණ්‍ය සත්කාර කරන එක දරු ප්‍රසූතියෙන් පසුවට කරන එකයි හොඳ ඒ වගේම ගැබිනි කාලේ සම සංවේදී වැඩි නිසා.ටැටූ, පියර්සින් වගේ දේ කරනවා නම් ඉක්මනින්ම ආසාත්මිකතා මතුවෙන්නත් පුළුවන්.
අධික ලෙස හුස්මගන්න තියෙන ව්‍යායාම, උඩ පැනීම, බර එසවීම වගේ ව්‍යායාම කරන්නම එපා, හැබැයි එහෙමයි කියලා ව්‍යායාම නොකර ඉන්නත් එපා වෛද්‍ය උපදෙස් මත හැමදාම විනාඩි තිහක්වත් ගැබිනි මව්වරුන්ට ගැලපෙන ව්‍යායාම කරන්න.
ගැබිනි කාලේ ශරීරෙට වෙන ගොඩක් වෙනස්කම් ප්‍රසුතියෙන් මාස තුනක් හතරක් යද්දි යථා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඔය කාලෙට වෙන වෙනස්කම් සම සිතින් දරාගන්න කියන එකත් ගැබිනි අම්මලාට ආදරෙන් කියන්න ඕනේ.


සෙව්වන්දි හෙට්ටිආරච්චි