puttalam-teacher-attack

 ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අජිත් විජේසිංහ මහතාගේ පුත්තලම, මදුරන්කුලිය මුක්කුතුඩුවාවේ පිහිටි නිවෙසට පෙරේදා (31) මධ්‍යම රාත්‍රියේ කඩාවැදුණු කඩු, යකඩ පොලු සහ මුගුරු රැගත් මැර කණ්ඩායමක් ඒ මහතාගේ නිවෙසේ වටිනා බඩු මුට්ටුවලට පහරදී පොඩි පට්ටම් කර, නිවෙසට ද ගිනි තබා හානි සිදු කර, පලා ගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.ප්‍රදේශයේ එක්තරා කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය හේතුවෙන් සිදුවන බව කියන දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු සම්බන්ධයෙන් ප්‍රදේශ වාසීන් පිරිසක් පුත්තල සමග

එක්ව ඊට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් කල්ලියස අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අජිත් විජේසිංහ මහතා නායකත්වය ගෙන ක්‍රියා කර ඇති බවට මූලික විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී යැයි ද පොලිසිය සඳහන් කරයි.හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩ පැවැත් වූ අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ ද උපරිම සහාය ලැබී ඇත.


විජේසිංහ මහතාට අයත් මෝටර් රථයට සහ යතුරු පැදියට ද මැර කණ්ඩායම දැඩි ලෙස හානි කර තිබෙන බව පොලිසිය කියයි.මේ හේතුව මුල් කරගනිමින් අජිත් විජේසිංහ මහතාගේ නිවෙසට මෙම මැර ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.මේ අතර, මෙම මැර කල්ලිය වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (1) උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.මෙම මැර කණ්ඩායම කඩිනමින් අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු යොදා ඇති බව පොලිසිය මෙහිදී උද්ඝෝෂකයන්ට දැනුම් දී ඇතැයි කියති. මේ සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ලංකා ගුරු සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති විජේසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.


“නිවෙස ඉදිරිපස පිහිටි ප්‍රධාන ගේට්ටුව සහ පිටුපස කම්බි වැට කඩාගෙන යකඩ පොලු, කඩු සහ මුගුරුවලින් සන්නද්ධ විසි දෙනකුගේ විතර මැර කණ්ඩායමක් පෙරේදා රාත්‍රියේ එකොළහට පමණ ගෙට කඩා වැදුණා. ඒ අවස්ථාවේ මමත් ගුරු වෘත්තියේ නිරතව සිටින බිරිය සහ දරු දෙදෙනාත් නිවෙසේ සිටියා. ගෙට කඩා වැදුණු

මෙම කණ්ඩායම වටිනා බඩු මුට්ටුවලට පහරදී ගෙටත් ගිනි තබා පැනලා ගියා. ගෙදර තිබුණු බඩු මුට්ටු සේරම විනාශ කළා. මැර කල්ලියේ සිටි කිහිප දෙනෙක්ම හඳුනාගෙන, ඒ බව පොලිසියට දැනුම් දුන්නා.අපේ ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය නිසා පාරිසරික ගැටලු සහ සෞඛ්‍යමය ගැටලු රැසකින් අප කාලයක සිට දැඩි ලෙස පීඩා විඳිනවා. මෙම කර්මාන්ත ශාලාවෙන් දිනකට අපවිත්‍ර ජලය ලීටර් 13,000ක පමණ ප්‍රමාණයක් බැහැර කරනවා. ගංවතුර කාලයට මෙම අපවිත්‍ර ජලය ගෙවතු වලට ගලාගෙන එනවා.

මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කළ දා සිටම තදබල ලෙස මෙම පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ප්‍රදේශවාසීන්ට ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු. බලධාරීන්ට ලිඛිතවම පැමිණිලි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ අප නඩුවක් ගොනු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක් නඩු වාර විභාගයක් පසුගියදා පැවැත්වුණු අතර, ඊළඟ නඩු විභාගය මේ මස 29 වැනිදා කැඳවීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මම මූලිකත්වය ගෙන කටයුතු කිරීම නිසා මා ඇතුළු අනික් පිරිස බිය කිරීමට මෙවැනි මැර ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති බව පැහැදිලිවම කියනවා. එහෙම නැතිව වෙන කිසිම ප්‍රශ්නයක් මට නැහැ. වයඹ ආණ්ඩුකාරවරයා ද පසුගියදා එම කර්මාන්ත ශාලාව නැරැඹීමට පැමිණ ප්‍රදේශවාසීන්ට ඇති වී තිබෙන මෙම පාරිසරික හා සෞඛ්‍යමය ගැටලුවලට කඩිනමින් නිසි විසඳුම් ලබා දෙන ලෙසට නියෝගයක් පවා නිකුත් කළා.” යැයි ද විජේසිංහ මහතා පෙන්වා දුන්නේය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)