police-drug-authority

සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45 ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු කාර්යාලයේ 4 දෙනකු ඇතුළු 8 දෙනෙක් ඊයේ (1) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනාගෙන් 4 දෙනෙක් කොළඹ සුරාබදු කාර්යාලයක සේවය කරන අය වෙති.

ඔවුන් අතර සුරාබදු පරික්ෂකවරයෙක්, සුරාබදු සැරයන්වරයෙක්, සුරාබදු නියාමකවරයෙක් සහ සුරාබදු රියැදුරෙක්ද වෙති.

අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියැවේ.

කේරළ ගංජා තොගයක් විකිණීමට ඇති බවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් වෙස්වලාගෙන එහි ගිය අවස්ථාවේ ඔවුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බව නොදැන ගංජා තොගය විකිණීමට උත්සාහ දරා ඇත.සුරාබදු නිලධාරීන් මීට පෙර සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයකින් කොටසක් අධිකරණයට ඉදිරිපත් කර ඉතිරි තොගය ජාවාරම්කරුවන්ට විකුණා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.මෙම සුරාබදු නිලධාරීන් හලාවත සහ මීගමුව ප්‍රදේශවලදී ජාවාරම්කරුවන්ට කේරළ ගංජා විකුණා තිබූ අතර ඒවා මිලට ගත් සැකකරුවන් 4 දෙනකු ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු නිලධාරීන් කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරමේ යෙදී ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කැබ් රථයකින් කේරළ ගංජා ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාව වනවිටත් ඔවුන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් බව දැන නොසිටි බවත් පැවැසේ. කෙසේ වෙතත් සැකකරුවන් හලාවත,

මදුරක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබූ කේරළ ගංජා කිලෝ 45 ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රඳවාගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බව උසස් නිලධාරියෙක් පැවැසීය. එම සිද්ධිය සම්බන්ධ සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවත් එම කොළඹ ප්‍රදේශයේ සුරාබදු කාර්යාලයට අනුයුක්ත මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ද වෙනත් සුරාබදු කාර්යාල වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවද උසස් නිලධාරියෙක් පැවැසීය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගයාන් සූරියආරච්චි