pujani-gayan-love

ජනප්‍රිය ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් හැටියට ඉන්න ගයාන් නිවේදකයෙක් හැටියටත් කටයුතු කරනවා. වගේම ඔහු අපේ රටේ හිටපු ප්‍රවීණ ගායන ශිල්පියෙක් වූ නුවන් ගුණවර්ධන කලාකරුවාගේ එකම පුතා. පියා මියයාමත් සමඟ ගයාන් හිටියේ දැඩි හිත් වේදනාවකින්. ඒ කාලයේ ඔහුගේ කලා කටයුතු සහ පෞද්ගලික ජිවිතේ බොහෝ දේවල් මඟඇරුණා. ඔන්න කාලයත් එක්ක ආයෙත් ගයාන්ගේ නම කරළියට ඇවිත්. ආරංචි විදිහට ඔහුගේ ජිවිතේ ලොකු වෙනස්කම් කීපයක් ඉදිරි කාලයේදී වෙනවලු. ඉතින් ඒ මොනවද කියලා අහන්න අපි ගයාන් ගුණවර්ධන එක්ක කුලුපග කතාබහක යෙදුණා.

පුංචි කාලේ ඉදලා තිබුණු සුන්දර හීනයක් සැබෑ වෙන්නයි නේද යන්නේ?

ඔව්. ඔව්. මං ගායකයෙක්, ටෙලිනාට්‍ය නළුවෙක් සහ නිවේදකයෙක් විදිහට හිටියත් තව එක ආසාවක් තිබුණා කවදා හරි දවසක චිත්‍රපටයක රඟපාන්න. ඒක පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාවක්.ඉතින් මගේ ඒ ආසාව පසුගියදා ඉෂ්ට වුණා. ඒත් එක්කම පළවෙනි චිත්‍රපටයේ මට ප්‍රධාන චරිතය ලැබීමත් එක්තරා වාසනාවක්.

ගයාන් රංගනයෙන් දායක වුණු ඒ චිත්‍රපටය ගැන තොරතුරු ඔබේ රසික රසිකාවියන්ට කියමු?

"සාධි" තමයි ඒ චිත්‍රපටයේ නම. ප්‍රවීණ අධ්‍යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර සහ සිනමාවේදිනී සුවිනීතා වීරසිංහ යන මහත්ම මහත්මීන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔවුන් නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.

"සාධි” චිත්‍රපටයේ මම ඉන්නේ "රාහුල” කියලා හාමුදුරුනමකට. උන්වහන්සේ එක විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටින විප්ලවකාරි පොඩි හාමුදුරු නමක්. එතැනින් එහා දෙයක් කිව්වොත් අගයක් නැතිවෙයි නේද?

ගයාන් චිත්‍රපටයක රඟපාන හැටි දකින්න ආසාවෙන් හිටපු ඔබගේ පියා අද ජීවතුන් අතර නෑ. ඒ අඩුව ගයාන්ට දැනෙන්නේ කොහොමද?

ඒ අඩුව නම් මං මැරෙනකල්ම දැනෙයි කියලා මට විශ්වාසයි. මොකද තාත්තයි මමයි අතර තිබුණේ ලොකු බැඳීමක්. මට තියෙන ලොකුම දුකක් තමයි මං ඉන්න පළවෙනි චිත්‍රපටය බලන්න එයා මගේ ළඟින් නැති එක. එහෙම හිටියා නම් අද එයා ගොඩාක් සතුටු වෙයි.

ඒ ඇරුණම පියා මියයන්න කලින් ඔබ තවත් හීනයක් සැබෑ කරගන්න හිටියා?

මව්. මගේ තවත් ලොකු හීනයක් තිබුණා අනාගතේ දවසක තාත්තයි මමයි ඒ වගේම මගේ පුතෙකුයි එක්ක යුග තුනක් නියෝජනය වෙන විදිහේ ප්‍රසංගයක් කරන්න. ඒකත් ඉතින් හීනයක්ම වෙලා ගියා.

ඔහු මියයන්න කලින් තාත්තා ගයාන්ට කියපු විශේෂ
දෙයක් එහෙම තිබුණද?

එයා මිනිස්සුන්ට හරියට ආදරේ කරපු කෙනෙක්. එයා හැමදාම මට කියපු එක කතාවක් තමා හැමවෙලේම නිහතමානි වෙන්න, අපේ නිර්මාණ රසවිඳින හැම මනුස්සයකුටම වගේ ආදරය කරන්න කියලා. ඔවුන් නැත්නම් අපි අද මෙතැන නෑ කියන එකයි තාත්තා හැම වෙලේම මට කිව්වේ. මම නුවන් ගුණවර්ධනයන්ගේ එකම පුතා විදිහට මට වගකීමක් වගේම යුතුකමක් තියෙනවා. මම ප්‍රසංගයකට ගියත් ඔහු ගයපු එක ගීතයක් හරි ගයනවා.

මම ඉන්නකල් ඔහුගේ ගීත මට පුළුවන් විදිහට පරිස්සම් කරනවා.

පියා ඉන්න කාලේ ඔබේ පෙම්වතිය පූජනී  ගැන මොකද කිව්වේ?

තාත්තත් පූජනීට හරිම ආදරෙයි. එයත් එහෙමයි. තාත්තා නිතරම කියපු දෙයක් තමයි මං එයාලට දාහකින් හොයාගන්න බැරි ලේලියක් හොයලා දුන්නා කියලා.

පූජනීත් කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා ගයාන්ට නීති දාන්නේ නැද්ද?

(සිනාසෙමින්) පූජනී කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. එයා මට නීති දාලත් නෑ මං එයාට නීති දාන්නෙත් නෑ. මොකද අපි දෙන්නා අපි දෙන්නව ඉතා හොඳට  තේරුම් අරගෙන ඉන්නේ.

ගයාන් පූජනීට කැමැති වෙන්න විශේෂ හේතුවක් එහෙම තිබුණද?

මං හිතන්නේ පූජනී තරම් මාව තේරුම් ගත්ත වෙන කෙල්ලෙක් මට මුණ ගැහිලා නෑ. හේතුව ඒක තමයි.

ගයාන්ගෙයි පූනීගෙයි විවාහයක් දිහා හුඟාක් අය බලාගෙන ඉන්නවා?

(සිනාසෙමින්) මේ අවුරුද්දේ අවසානේ හරි ලබන අවුරුද්දේ මුල හරි ඒ විවාහය සිදු වෙනවා. මගේ කාර්ය බහුලත්වය එක්ක තමයි ඒක මෙච්චර කාලෙකට පරක්කු වුණේ.

ඵ් කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඊළඟ විවාහය ගයාන්ගේ, එහෙමද?

මට කලින් කවුරු හරි ඉස්සර වෙන්නත් පුළුවන්, හැබැයි අර කියපු කාලේ පූජනියි මමයි විවාහ වෙනවා. අපි සැලසුම් කරගෙන ඉන්නේ එහෙමයි.

දිල්කි අප්සරා (Monara)