onion-fraud

ලංකාවට බී ලූනු ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිප දෙනා ගිය වසරේදී පමණක් රුපියල් කෝටි අටදාහක අයථා ලාභයක් උපයා තිබෙන බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (1) පැවැසීය.  එම අයථා ලාභ ලැබීම රටේ සෑම පුරවැසියකුගෙන්ම රුපියල් හාරදහසක් බැගින් ලබා ගැනීමකට සමාන යැයි ද මන්ත්‍රීවරයා කීය.අර්තාපල් අනයනයෙන් කෝටි 1500 ක් වියළි හාල් මැස්සන් ආනයනයෙන් කෝටි 1800ක් බැගින් අයථා ලාභ උපයා තිබෙන බව කී රණවක මහතා මේ අය බදු ගෙව්වාද? මේ ධනය ගියේ කොහාටද? කියා පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතුව තිබෙන්නේ යැයි පැවැසීය.


මේ සම්බන්ධයෙන් විමසීමට පාරිභෝගික අධිකාරිය සහ අනෙක් ආයතන පාර්ලිමේන්තුවට අද ( 2 ) කැඳවීමට තීරණය කර තිබෙන බව කී මන්ත්‍රීවරයා පාරිභෝගික බඩු භාණ්ඩ සම්බන්ධයෙන් කරන මේ කොල්ලය නතර කිරීමට

පාර්ලිමේන්තුවම එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.2023 වර්ෂයේදී බී ලූනු මෙරටට ගෙන්වා තිබෙන්නේ සියලුම ආනයන වියදම් සහ බදු සමග රුපියල් 92 ක මුදලකට බව කී රණවක මහතා එම බී ලුනු ඔරුගොඩවත්තේදී විකුණා තිබෙන්නේ 365 ක මුදලකට බවත් මීපේ දී එම බී ලුනු රුපියල් 500 කටත් සිල්ලරට කඩේ දී රුපියල් 700 කටත් විකිණී ඇතැයි කීය.මේ අයුරින්ම අර්තාපල් කිලෝවක් රුපියල් 110කට ගෙන්වා 230 කට විකුණා ඇතැයිද රුපියල් 496 කට ගෙවූ වියළි හාල් මැස්සන් රුපියල් 1307 කට විකුණා තිබෙන අතර රුපියල් 847කට ගෙනා උම්බලකඩ 3160 කට විකුණා ඇතැයි ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එහිදී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 1066 ක් හෙවත් කෝටි ලක්ෂයක් බදු මුදල් පැහැර හැර තිබෙනවා. එයින් අවසාන අවුරුදු පහ ඇතුළත බිලියන 656ක මුදලක් එකතු කර ගැනීමට තිබෙනවා. ඉකුත් ජනවාරි 1 වැනිදා වැට් බදු වැඩි කිරීම කළේ රුපියල් ට්‍රිලියන 600 ක් මේ වසරේ එකතු කර ගැනීම සඳහායි.

එහෙත් බිලියන 1000කට වැඩි එකතු නොකළ බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තිබෙන බලතල පාවිච්චි කොට මේ හිඟ බදු අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට අප යෝජනා කරනවා.එමෙන්ම 90 දෙනකු රුපියල් කෝටි සියයට වැඩි බදු පැහැර හැර තිබෙනවා. එමෙන්ම රුපියල් කෝටි 50-100 අතර තවත් 88 දෙනකු බදු පැහැර හැර තිබෙනවා. මිලියන 500 - 300 අතර 104 දෙනකුද මිලියන 300-100 අතර 457 දෙනකු ද මිලියන 100 - 50 අතර 632 ක් ද මිලියන 50- 10 දක්වා 3108ක් ද බදු පොලු තබා තිබෙනවා.

රුපියල් කෝටියට වැඩියෙන් බදු පොලු තබා තිබෙන ගණන 4479ක් වෙනවා. මේ පිරිස හඹා ගොස් බඳු අය කර ගැනීමට ක්‍රියා නොකර ලක්ෂ විස්සක් ජනතාවගේ පිටිකිරි, සීනිවලට වැට් බදු එකතු කිරීම කොතරම් යුක්තිසහගත දැයි අප කල්පනා කළ යුතුයි.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේදී විවෘත කරන්නට සමත්ව ඇත්තේ බදු ලිපි ගොනු පන් ලක්ෂයකට අඩු ප්‍රමාණයක් පමණයි. මේ වේගයෙන් ගියොත් අවුරුදු 18ට වැඩි ලක්ෂ 160ක ජනතාවගේ බදු ලිපි ගොනු විවෘත කරන්නට වසර තිස් දෙකක් ගත වෙනවා යැයි රණවක මහතා පැවැසීය.


සුජිත් හේවාජුලිගේ