
මෑතකදි විවෘත කරන ලද පෝද්දල, හෝලුවාගොඩ දියත උයනේ විනෝද වීමට පැමිණ ආරවුලක් ඇති කරගෙන, පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තවත් කිහිප දෙනකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තිදෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මැයි 03 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්රාත් ලක්මිණ විදානගම මහත්මිය නියෝග කළාය.
මෙම සැකකරුවන් ඇතුළු තවත් කිහිපදෙනකු පසුගිය 26 දා රාත්‍රියේ දියත උයනට පැමිණ මත්පැන් පානය කොට බෝට්ටු සවාරියක් ගොස් ගොඩබිමට පැමිණ, එහි ගීත ගායනා කරන පුද්ගලයකුගේ මයික්රෆෝනය ඉල්ලා ඇති අතර, එහිදි බහින්බස් වීමක් සිදුව ඇත. එම අවස්ථාවේ ඇති වූ ගුටිබැට හුවමාරුව බේරීමට පැමිණි පුද්ගලයකුටද සැකකරුවන් පහර දී ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් දෙදෙනකුද පැමිණ තිබේ. සැකකරුවන් එම පොලිස් නිලධාරීන් දෙදෙනාටද පහර දී තුවාල සිදුකර ඇත.
සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවයි. පෝද්දල පොලිසියේ උප පොලිස් පරීක්ෂක මනම්පේරි මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
එස්. දීයගහගේ
Comments
Post a Comment
Your comment will be visible after approval