chandrika-maithri-president

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට කටයුතු කිරීම තමා කළ ඓතිහාසික වරදක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ඛණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය.කැලි කැලි වලට කැඩී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ප්‍රතිසංස්කරණය කර ජනතාව අතරට ගෙන යා යුතුව ඇතැයි ද හිටපු ජනාධිපතිවරිය කීවාය.ඒ සඳහා විවිධ දක්ෂතා ඇති වෘත්තියවේදීන් ද එක් කරගත යුතු ඇතැයි කී ඇය

වර්තමානයේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පිළිගත හැක්කේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන සභාපති කටයුතු කරන කණ්ඩායම යැයි ද සඳහන් කළාය.තමා එහි කිසිදු තනතුරක් බාර නොගන්නා අතර බාහිර සිට සියලු උපදෙස් සහ අවශ්‍ය සහාය දීමට නිරතුරුව කැපවන බව ද කීවාය.

පක්ෂයේ අර්බුද ඇති කර එය ජනතාවගෙන් ඇත් කර සුනු විසුනු කිරීමට කටයුතු කළ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනකු ගැන සඳහන් කළ කුමාරතුංග මහත්මිය ඔවුන් දෙදෙනාම මේ රටේ ජනාධිපති තනතුර හෙබවූ අයවලුන් යැයි ද සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමට තමා කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා කළ ද එම චෝදනා මුළුමනින්ම බැහැර කරන බව ද ඇය කීවාය. ආණ්ඩුවේ මෙන්ම විවිධ තැන්වලින් තමාට තනතුරු භාර ගැනීම සඳහා ආරාධනා කරන බව කී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තනතුරු සඳහා බලපෙරේතකමක් නැති හෙයින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාදැයි ඇසූ පැනයකට පිළිතුරු දුන් ඇය කියා සිටියේ ඒ සඳහා ප්‍රමාද වැඩි බවය.

ජාතික ජන බලවේගයේ නැගී සිටීම පිළිබඳව විමසූ අවස්ථාවේ කුමාරතුංග මහත්මිය පැවසුවේ හැත්තැව අසූව දශක වල

ඔවුන්ගේ ක්‍රියාකාරකම් අමතක කළ නොහැකි බවත් එම පක්ෂය පිළිබඳව තමන් විටෙක අදහස් පළකළ අවස්ථාවක පක්ෂයේ ක්‍රියාකාරිකයකු තමන්ට ඒ ගෑනි මේ ගෑනි කියමින් හොඳටම බැන වැදුණු බව සඳහන් කළාය.මේ නිසා ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී වෙලාදැයි තමන්ට ප්‍රශ්නයක් ඇති බවත් අදහස් දැක්වීමට නිදහසක් නැත්නම් එහි ඇත්තේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි ප්‍රශ්න කළාය. හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ ඊයේ (29) පෙරවරුවේ කොළඹ නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ආරියරත්න රණබාහු