lohan-pistol-report

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රාත්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර ඛන්ධනාගරයට ඇතුළුවී දමිළ ජාතික රැඳවියකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇතිවන ආකාරයෙන් සාපරාධී බිය වැද්දීමක් කර තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාව ලබන අගෝස්තු 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාළව පැමිණිල්ලේ එකේ සිට 12 දක්වා සාක්ෂිකරුවන් ලබාදී ඇති ප්‍රකාශ වල පිටපත් විත්ති පාර්ශවයේ නීතිඥයන්ට දෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25) යළි කැඳවූ අවස්ථාවේදීය.මෙම නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහුට යළි ලබන අගෝස්තු 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ස්වකීය මූලික කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි පුබාර සිංහන් සූරියපාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.



ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට ( හිටපු බන්ධනගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය) එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වැනි වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසයට තවදුරටත් අධිකරණයට සැළ කර සිටියේය.සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගර නිලධාරීහු සමග අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

 උපාලි ආනන්ද