A-tense-situation-on-the-university-ground-in-the-morning-after-the-sudden-death-of-the-Kelani-student-at-night

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක රැඳී සිටි අවසන් වසර ශිෂ්‍යයකු රෝගී වී මියයෑමේ සිද්ධියේදී එම සිසුවා රෝහල්ගත කිරීමට ප්‍රවාහන පහසුකම් සැපයීමේදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නොමැති බව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව අනාවරණය කර ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නිවේදනය කරයි.



එම විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම සිද්ධිය විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවය. එම කමිටුව මෙම සිදුවීමට කෙළින්ම සම්බන්ධ සිසුන් හතර දෙනෙකුගෙන් හා නේවාසිකාගාර උප පාලක,

ආරක්ෂක නිලධාරීන් හා සිසුවා රෝහල්ගත කළ රියැදුරු ඇතුළු 08 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද එහි දැක්වෙයි.

ඒ අනුව රෝගී වූ සිසුවා රෝහල්ගත කිරීමේදී කිසිදු ප්‍රමාදයක් සිදුවූ බව කියැවෙන කිසිදු සාක්ෂියක් කමිටුව වෙත ඉදිරිපත් වී නොමැති බවද එම නිවේදනයේ දැක්වේ. තවද මෙම සිදුවීම පදනම් කරගෙන හදිසි සෞඛ්‍යයමය අවස්ථා සඳහා විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීමට පියවරගෙන ඇති බවත් ප්‍රථමාධාර හා මූලික ජීවිත ආරක්ෂාව පිළිබඳ පුහුණුව නේවාසිකාගාර කාර්ය මණ්ඩලයට මෙන්ම එම පුහුණුව ලැබීමට කැමති ඕනෑම සිසුවෙකුට ලබාදීමටද නුදුරේම කටයුතු කරන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.



කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ නවාතැන්ගෙන සිටි සිසුවා පසුගියදා (24) රාත්‍රි ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබූ අතර සිසුවාට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමට සරසවි බලධාරීන් අපොහොසත්වීම පිළිබඳව පසුදා උදෑසන සහෝදර සිසුන් විරෝධතාවක් අරඹා තිබුණි.
සාමාජීය විද්‍යා පීඨයේ හතරවන වසරේ ඉගෙනුම ලබමින් සිටි  මොනරාගල, බෝගහපැලැස්ස, බඩල් කුඹුර පදිංචි නිරෝෂණ ලක්මාල් මෙලෙස මියගිටෙය්ය.
සිසුවා රාත්‍රී හදිසියේ පපුව රිදෙන බව පවසමින් උදව් ඉල්ලා තිබුනේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේදීය. එහිදී ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සිසු සගයින් උත්සාහ කර තිබෙන නමුත් නේවාසික සිසුන් භාර පරිපාලන නිලධාරියාට (වෝඩන්)  අවශ්‍ය පරිදි ක්‍රියා කර නැති බවත් ගිලන් රථයක් ගෙන්වීමට බොහෝ සේ ප්‍රමාද කළ බවත් චෝදනා නැගුණි.