janaka-ratnayake-facebook-case

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (සමාජ මාධ්‍ය පනත) යටතේ ශ්‍රී ලංකාවේ මුල්වරට ‘ගූගල්', - ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ජාලාවලට සහ පුද්ගලයන් හය දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව නිරීක්‍ෂණය කිරීමට තමන් මැදිහත් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට ඊයේ (18) දැනුම් දුන්නේය.

තමාගේ පෞද්ගලික තොරතුරු අන්තර් ජාලය ඔස්සේ සංසරණය කිරීම  වළකාලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා  මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ ගොනු කර තිබූ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන් ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා මෙය පෞද්ගලික නඩුවක් වුවද, සමාජ මාධ්‍ය රක්ෂණ පනත යටතේ පවරන පළමු නඩුව වීම සහ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ නිදහස හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා නඩුවට මැදිහත් වීමට අදහස් කළ බව ද දැනුම් දුන්නේය.



තමාගේ පෞද්ගලික තොරතුරු අන්තර් ජාලය ඔස්සේ සංසරණය කිරීම වළකාලන්නැයි ඉල්ලමින් ජනක රත්නායක මහතා මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (සමාජ මාධ්‍ය පනත) යටතේ පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් 'ගූගල්', වට්ස්ඇප්' සමාජ මාධ්‍ය ජාලාවලට ඕෂල හේරත්, ජයලාල් පෙරේරා, කල්ප ගයාන් කවිශ්වර ගුණසේන, කමන්ත තුෂාර සහ ජනක රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ගයත්‍රි බිම්බා සහ ඇය සමග වෙසෙන බව කියන ජනක රාජපක්ෂ නමැත්තන් නම් කර ඇත.ජනක රත්නායක මහතා පසුගිය 04 වැනිදා මෙම නඩුව ගොනු කරමින් කළ ඉල්ලීමකට අනුව ඒ මහතාගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම වළකාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවනට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබිණි.

මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා කරුණු දක්වමින් ව්‍යවස්ථාදායකය පසුගිය ජනවාරි මස සම්මත කළ 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ ගොනුකර ඇති නඩුවට මැදිහත්වීමට තම සංගමය තීරණය කර ඇතැයි කීය.



මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත, අලුතින් සම්මත කළ පනතක් වුවත් අපරාධ නීතියද සම්බන්ධ කරමින් පළමු නඩුව ලෙස පවරා ඇති මෙම නඩුවෙන් නීතියේ අවභාවිතාවක් සිදු වන්නේද ? පුරවැසියන්ගේ භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමක් සිදුවේද? යන්න නිරීක්ෂණයට ලක්කිරීම සඳහා මෙම නඩුවට මැදිහත් වීමට තම සංගමය අදහස් කරන්නේ යැයි කී ජනාධිපති නීතිඥ කෞශල්‍යය නවරත්න මහතා ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් නඩුවට අදාළව නිකුත් කළ නොතීසි නීත්‍යනුකූලව තමන්ට පුලැබී නැති වුවත් ජනමාධ්‍ය මගින් මෙම නඩුව පිළිබඳ දැනුවත් වූ තම සේවාදායකයන් අධිකරණයේ පෙනී සිටින්නේ යැයි දැනුම් දුන්හ.

පෙත්සම්කාර ජනක රත්නායක මහතාට මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා පවත්වා ගෙන යෑමට නීතිමය හැකියාවක් නැතැයි පැවසූ වග උත්තර කරුවන්ගේ නීතිඥවරු සමාජ මාධ්‍ය පනත අපරාධ නීතියට යටත් කරමින් නඩු පැවරීමේදී අධිකරණ බලය පිළිබඳ ගැටලු මතුවන බවත්, එම මූලික විරෝධතාව නිරාකරණය කිරීමෙන් අනතුරුව නඩුව විභාගය කළ යුතු බවත් මූලික විරෝධතාවන් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්හ.