මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටයුතුවලින් පලක් නොවන අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් පක්ෂයේ කටයුතු ඉදිරියට කර ගෙන යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය කාලයේ හටගත් විවිධ අර්බුද සහ ගැටුම් හේතුවෙන් පක්ෂයෙන් ඈත් වූ සියලු දෙනාටම නැවත පක්ෂයට එක්වන්නැයි ආරාධනා කරන බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා . කොළඹ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

පක්ෂයේ ඇති වූ ගැටුම් තවදුරටත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ දැරූ සභාපති ධුරය අභියෝගයකට ලක් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගත් අධිකරණ ක්‍රියාමාර්ගයේ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර ඇති බව පැවැසූ අමාත්‍යවරයා

අනුව පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීමට තමන් ඇතුළු කණ්ඩායම තීරණය කළ බව ද කීය.වාරණයට ලක්ව සිටින හිටපු සභාපතිවරයාගේ ක්‍රියා මාර්ග පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ අමාත්‍යවරයා පසුගිය කාලේ ඔහුගේ හැසිරීම් රටා ප්‍රශ්නකාරී වූ බව ද කීය.

පසුගිය කාලයේ පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව කලකිරුණු පිරිස් වෙනත් පක්ෂවලට මෙන්ම විවිධ කණ්ඩායමට ද එක්ව ඇති බව පැවැසූ අමරවීර මහතා ඔවුන් පක්ෂයට එක් කර ගැනීම සඳහා කටයුතු කරන බව ද කීය. පසුගිය කාලයේ කිසිදු ලේ,කින් ගොඩනැංවීමට කටයුතු නොකළ තරුණ සමිති කාන්තා සමිති මෙන්ම ගම් මට්ටමේ සියලුම ශාඛා සමිති සමාගම් නැවත ප්‍රතිසංවිධානය කළ යුතු බව ද කීය.ඒ සඳහා පෞද්ගලික අරමුණු පසෙක තබා පක්ෂය වෙනුවෙන් සියලු දෙනාටම එක්වන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ලෙසකින් වෙනත් පක්ෂයකට හේත්තු කිරීමට තම කණ්ඩායමට කිසිදු අදහසක් නැතැයි ද පැවැසීය.



මෙහිදී අදහස් දැක්වූ ජාතික පක්ෂයේ  සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අසාධාරණයට ලක් වූ සියලුම ආසන සංවිධායකවරුන්ට සහ අනිකුත් සෙසු සියලු දෙනාට පක්ෂයේ දොරටු දැන් විවෘතව තිබෙන බවය.පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව එක්වී පක්ෂයට නව සභාපතිවරයකු පත්කර ගැනීමට කටයුතු කරන බව ද දිසානායක මහතා කීය.

වැරැදි මාර්ගයේ ගොස් අතරමං නොවන ලෙස ඉල්ලා සිටි දිසානායක මහතා එසේ ගිය සියලු දෙනාට නැවත පැමිණෙන ලෙසට ද ආරාධනා කළේය. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටු වීම සඳහා අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බව කී ජාතික සංවිධායකවරයා වගකීමෙන් යුතුව හැසිරෙමින් පක්ෂය රැක ගන්නා ලෙස ද අවධාරණය කළේය. මෙහිදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්ප කුමාර යන මහත්වරු ද එහිදී අදහස් දැක්වූහ.

ආරියරත්න රණබාහු