janaa-germany-sri-lanka

තම වැදූ මව වසර 14ක් තිස්සේ සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණියක් නැවත වරක් තම මව සෙවීම සදහා ඉකුත්දා ලංකාවට පැමිණියාය.ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වෙසෙන ඇය නමින් ජානා බෙකර්ය. ඇයගේ උප්පැන්න සහතිකයේ සඳහන් ලංකාවේ නම වනුයේ වාසනා මල්කාන්තිය.

ඇයට මාස තුනක් පමණ වන විට ඇයගේ මව ජර්මන් ජාතික යුවළකට හදාගැනීම සඳහා බාරදී ඇති ඇය ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම කාසල් රෝහල අසලට යාමට අමතක නොකරන්නේ කොයිම මොහොතක හෝ ඇගේ මව කාසල් රෝහල අසල හිඳීවි යන විශ්වාසයෙන් බව සඳහන් කරන්නීය.



මව සොයා ලංකාවේ බොහෝ නගරවල ඇවිද ගියත් ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත්වල ද විස්තර ලිපි පළකළත් ඇය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බව ඇය කියයි. එක වතාවක් හෝ මව දැක ගැනීම එකම අරමුණ බවත් ඇය නොමැති අඩුව නිරන්තරයෙන්ම දැනෙන බවත් ඇය පවසන්නීය.ඇයගේ මව බව පවසමින් වරින් වර නොයෙකුත් කාන්තාවන් ඉදිරිපත් වන හෙයින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර නිශ්චිතව ඇයගේ මව ද යන්න සනාථ කරගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කරයි.1990 වසරේ අප්‍රේල් 20 වැනිදා පෙරවරු 7.30 ට කොළඹ කාසල් රෝහලේදී උපත ලැබූ දැරියක ජර්මන් ජාතික කාන්තාවකට හදාගැනීමට දී ඇත්නම් 0711317833 අංකයට අමතන ලෙස ඇය දන්වා සිටී.

 ගයාන් සූරියආරච්චි