පුංචි තිරය තුළ වගේම රිදී තිරය තුළදීත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන රංගන ශිල්පියෙක් තමයි ඉසුරු. මේ දිනවල ඉසුරුව අපට දකින්න ලැබෙන්නේ පසුගියදා තිරගත කිරීම් ආරම්භ කළ උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු' සිනමා නිර්මාණයෙන්. ඉතින් ඒ ගැන වගේම ඉසුරුගේ විවාහය ගැන ඇහෙන විස්තර වල ඇත්ත මොකක්ද කියලා බලන්න අපිට හිතුණා.

ඔබේ අලුත් චිත්‍රපටය 'රිදී සීනු’ එහෙම නේද?

'රිදී සීනු' කියන්නේ දරුවන් දෙන්නෙක් වටා ගෙතුණු ලස්සන චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිතයක් මමත් කරනවා. රිදී සීනු' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, පිටපත සහ තිර රචනය උදයකාන්ත වර්ණසූරිය මහතාගේ. නිෂ්පාදනය කළේ නිශාන්හේවාගමගේ. පාසල් ළමයි දෙන්නෙක් කරපු වැඩක්, රටේ ජනාධිපතිතුමා දක්වා ගිහින් සිදුවෙන අපූරු සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මීටත් වඩා ඒ ගැන කිව්වොත් අගයක් නෑ. හැමෝටම කියන්නේ පවුල් පිටින්ම ඇවිත් බලන්න.



එතකොට ඒ චිත්‍රපටයේ ඔබගේ චරිතය මොකක්ද?

මම තමයි අර ළමයි දෙන්නගේ තාත්තා විදිහට චරිත නිරූපණය කරන්නේ. අම්මා හැටියට ඉන්නේ උපේක්ෂා ස්වර්ණමාලි.

ඇත්තටම තාත්තා කෙනෙක් වෙන්නේ කවදද කියලා පස්සේ අහන්නමි, දැන් කියන්නකෝ ගිනිඅවි සහ ගිණිකෙළි 2 චිත්‍රපටය ගැන.

මං හිතන්නේ මේ අවුරුද්දෙ අවසාන වෙද්දි හරි ලබන අවුරුද්දේ හරි අනිවාර්යයෙන්ම ඒක තිරගත වෙයි. මමත් ඒක තිරගත වෙනකල් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නේ. ඒ තරම් මට ඒ චිත්‍ර පටය විශේෂයි.

ඒ විශේෂත්වය නම් ප්‍රේක්ෂකයොත් දැනගන්න කැමැති ඇති.

90 දශකයේ මැදභාගේ ගිනිඅවි සහ ගිනිකෙළි' කියලා සිංහල චිත්‍රපටයක් තිරගත වුණා මතක ඇතිනෙ. ලංකාවේ දේශපාලනයේ අඳුරු යුගයක් ගැනයි ඒ චිත්‍රපටයෙන් කිව්වේ. එහි 'තුම්මුල්ලේ පත්මේ’කියන ප්‍රධාන චරිතයට හිටියේ ජැක්සන් ඇන්තනී මහත්තයා. අන්න ඒ චිත්‍රපටයේ දෙවෙනි කොටස විදිහටයි 'ගිනිඅවි සහ ගිනිකෙළි 2' කියලා එන්නේ. 'ලකී' කියන ප්‍රධාන චරිතය තමයි මං කරන්නේ. මගේ චරිතය වටේ තමයි ඒ චිත්‍රපටය ගලාගෙන යන්නේ.



ඉසුරු තුළ ගායකයකු හැංගිලා ඉන්නවා කියලා අපට දැනෙනවා. මේ ගැන මොකද කියන්නේ?

පසුගිය ටිකේ රූපවාහිනී වැඩසටහන් කීපයක සිංදු කියපු නිසා වෙන්න ඇති ඔබ එහෙම කතාවක් ඇහුවේ. මෙහෙමයි මං පාසලේදී විෂයක් විදිහට සංගීතය කළා. එතැනින් එහා හැදෑරීමක් කළේ නෑ. ඒ වුණාට ඉතින් සිංදුවක් තාලෙකට කියාගන්න පුළුවන්. ඒත් මං හිතන්නේ නෑ ඒ හැකියාවෙන් ගායකයෙක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මගේ ඇඟේ තියෙන්නේ රංගනයම විතරයි.

ඔබේ රංගන ජීවිතයට සීමා තිබෙනවද?

දැනට නම් නෑ. ඒත් විවාහ වුණොත් නම් බිරිඳ ගැන දරුවෝ ගැන, හිතලා ඒ වගේ සීමා මායිම් දාගන්න වෙයි.

එතකොට විවාහ වෙන්නේ කවද්ද? තත්තා කෙනෙක් වෙන්නේ කවද්ද?. මෙ අවුරුද්දේ විවාහ වෙනවා කියලත් රාවයක් යනවා.

(සිනාසෙමින්) ඒක නම් බොරු. තාම මට මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණගැහිලා නෑ. එහෙම කෙනෙක්ව මට මුණගැහෙයි කියලා හිතෙන්නෙත් නෑ. ඒ නිසා මේ අවුරුද්දේ ඉතින් එහෙම දෙයක් වෙන්නේ නෑ. මොකද තනියම බඳින්නයෑ.

ඒ කියන්නේ ඔබ ආදරේ කරලවත්
නැහැ.

ආදරේ කරලා තියෙනවා. ඒක නෑ කියන්නේ නෑ. (සිනාසෙයි)



ඒ පැරණි ප්‍රේම කතා එක්ක බලද්දී ඉසුරුට ආදරේ ගැන එහෙම හිතෙන්නේ මොනවද?

මං හිතන්නේ ආදරේ කියන්නේ අනෙක් අය කියනවා වගේම සුන්දර දෙයක්. ඒත් ඒක සුන්දරද අසුන්දර ද කියලා තීරණය වෙන්නේ අපේ තේරීම් එක්ක. ඔය තේරීම කියන දේ හරියට කළොත් ආදරේ හරිම සුන්දරයි.

ඔබ දැන් ඉන්න තැන ඉදන් ජීවිතේ දිහා ආපහු සැරයක් හැරිලා බැලුවොත් මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

මට හිතෙනවා මං මේ දැන් දකින්නේ හීනයක් ද කියලා. ඒ මොකද කිව්වොත් මගේ තුන් හිතකවත් නළුවෙක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් මං අද නළුවෙක් වෙලා. ඒක මට ඇත්තටම හීනයක් වගේ. දැන් මගේ එකම ආසාව මට පුළුවන් කාලයක් වෙනකල් රඟපාන එක.

දිල්කි අප්සරා (Monara)