iran-israel-war

ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට ‘සුදුසු වේලාව' පැමිණෙන තුරු තමන් බලා සිටිනවා යැයි ඊශ්‍රායලය අනතුරු ඇඟවීමත් සමග, ඉරාන ඊශ්‍රායල අර්බුදය උත්සන්න වී, එය තෙවැනි ලෝක යුද්ධයක් දක්වා දුරදිග යෑමට ඉඩ ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.



ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇති බැවින්, ඉරානය, ඊශ්‍රායලය ගැටුම ලෝක යුද්ධය දක්වා දුර දිග ගියහොත්, ඊශ්‍රායලයට බටහිර බල කඳවුර වන ඇමෙරිකාව සහ සෙසු ‘නේටෝ’ සාමාජික රටවල සහාය හිමිවනු ඇති බවත්, ඉරානයට, ඇමෙරිකා විරෝධීන් වන රුසියාව, සිරියාව, චීනය, යේමනය පමණක් නොව උතුරු කොරියාවේ ද සහාය සෘජුව හෝ වක්‍රව හිමිවනු ඇති බවත් ජගත් දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

ඉරානය, ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දුන්නේ පසුගිය 13 වැනිදාය. ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන යානා ගණන 350 කට වැඩිය. ඉරානය මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙසය.

ඉරාන විප්ලවීය හමුදාවට අයත්, කුද්ද නමැති අතිරේක බළඇණියේ හමුදා ප්‍රධානීහු දෙදෙනක් එම ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.ඉරානය, පසුගිය 13 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායලය සමත් විය. එහෙයින්, ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට බරපතළ හානියක් සිදු නොවිණි. ඊශ්‍රායල රජය කියා සිටියේ 7 හැවිරිදි දැරියක සහ තවත් ඊශ්‍රායල වැසියන් කීප දෙනකු පමණක් සුළු තුවාල ලැබූ බව පමණි.

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සියයට 99 ක් ම උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල හමුදාවට හැකි වූ බව පැවැසෙයි. ඇමෙරිකාන් නාවික හමුදාවේත්, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේත් සහාය ඊට හිමිවිය. ඊශ්‍රායලයේ ආරක්ෂාවට, ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් ඔවුන්ගේ යුද නැව් මධ්‍යධරණී මුහුදේ රඳවා ඇත. ඉරානයෙන් ආ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර විනාශ කළේ මෙම යුද නෞකාය. ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක නායකයෝ බොහෝ  දෙනෙක් කනස්සල්ල පළ කළහ.ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පේස්ට්‍රෝ ඇමෙරිකාවට චෝදනා නගා ඇත්තේ,

ඉරාන සහ ඊශ්‍රායල තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග ගියහොත් එහි වගකීම ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් බාරගත යුතු බවය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගත් මෙම නව අර්බුදයට හේතුව වන්නේ ද ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් ගැටුමය. ඊශ්‍රායල හමාස් ගැටුමට මේ වනවිට මාස 6 ක් ගත වී ඇත. ඊශ්‍රායල හමාස් ගැටුම් ඔඩුදුවා ඇත්තේ ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දක්වමින්, හමාස් සටන්කාමීන්ට රිසි ලෙස පහර දීමට ඊශ්‍රායලයට අවසර දී ඇති බැවිනි. ඉරානය, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේ, තමන් ඊශ්‍රාලයට ප්‍රහාරයක් එල්ල කරනවා යැයි ඇමෙරිකාවට දැනුම් දෙමිනි. ඉරානය ඒ බව ඇමෙරිකා රජයට දැනුම් දුන්නේ ලිපියක් මගිනි. ඒ අනුව, පැය 24 ක් ඇතුළත ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි ඇමෙරිකාව අනතුරු ඇඟවීමක් ද කළේය. ඊශ්‍රායලයට තමන් පහර දෙන බව ඉරානය පැවැසූ අවස්ථාවේදී, කලාපීය ගුවන් ගමන් සියල්ල නවත්වා දැමුණි.

ඊශ්‍රායලයේ අසල්වැසියා ජෝර්දානය එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය.ඉරානයේ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකන් යුද නැව් මධ්‍යධරණී මුහුදේ සීරුවෙන් තැබීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් නියෝග කළේය. ඊශ්‍රායලයට පහර දෙන බව පවසමින් ඉරානය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණේ, ‛ඇමෙරිකාව පැත්තකට වී සිටින්න' යනුවෙනි.

ඉරානය වැඩි දුරටත් කියා පවසා තිබුණේ තමන් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය ‘සීමාසහිත’ එකක් වනු ඇති බවය.ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්විය. ඊට අමතරව, ‛ජී7' කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද හමුවක් පැවැත්වූහ. '57' කණ්ඩායමට අයත් රටවල් රටවල් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව සහ ඉතාලියයි. ඊශ්‍රායල හිතවාදී බටහිර රටවල් බොහොමයක්, ඉරානය එල්ල කළ එම ප්‍රහාරය හෙළා දැක ඇත.