unp-deal-sjb

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.



එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැතැයි කී මහ ලේකම්වරයා සජබෙ දැන් බදුගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? කියා එජාපයෙන් ගිය පිරිස සිතා බැලිය යුතු බවද සඳහන් කළේය.එමෙන්ම නම නොකී සැමටද එජාපයට එන්නැයි පොදුවේ ආරාධනාවක් කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව කීය.

ලොව කිසිම රටක් වැටුණු තැන සිට මේ තරම් වේගයෙන් නැගිට නැතැයි කී රංගෙ බණ්ඩාර මහතා ආසියා සංවර්ධන බැංකුව මෙන්ම ලොක බැංකුවද ඒ කාරණය පිළිගෙන තිබෙන බව පැවසීය.එක පවුලකට සහල් කිලෝ විස්සක් බැගින් පිරිනැමීමේ වැඩසටහන බදුල්ලේදී ලබන 20 වැනිදා අරඹන බව කී රංගේ බණ්ඩාර මහතා පවුල් ලක්ෂ 25ක් සඳහා එම සහනාධාරය දෙන බව කීය.

සමගි ජන බලවේගයට මෙන්ම මාලිමාවට තිබෙන්නේ අල්ලාප සල්ලාප සටනක් මිස රට ගොඩනගන සටනක් නොවන බව

කී එජාප මහලේකම්වරයා රටට සැබෑ ප්‍රශ්නයක් තිබෙන මොහොතේ එම කණ්ඩායම් අභියෝග බාර නොගත්තේ ඇයිදැයි ප්‍රශ්න කළේය.එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම පනස් දහසක ජන සහභාගිත්වයකින් පැවැත්වීමට කලින් තීරණය කර තිබුණත් ඊට සහභාගී වන ගණන ලක්ෂය දක්වා වැඩි කිරීමටද තීරණය කර තිබෙන්නේ යැයිද මරදාන සහ පංචිකාවත්ත අතර ප්‍රදේශයේදී එජාප මැයි දිනය පැවැත්වෙන බවද රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

 අංජුල මහික වීරරත්න