imo-scanners-for-sri-lanka

 විදේශයන්හි සිට මෙරටට පැමිණෙනන්ගේ රෝග නිරීක්ෂණයට කටුනායක ගුවන් තොටුපොළෙහි හා කොළඹ වරායේ අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පිහිටුවීමට රජය කටයුතු කර ඇත. ජපන් රජයේ ප්‍රදානයක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8.4ක් වටිනා අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර මේ යටතේ ස්ථාපිත කෙරේ.

සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IMO) විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ රෝග විනිශ්චය කිරීමට අවශ්‍ය ස්කෑන් යන්ත්‍රවලට අමතරව ගමන් මලු ස්කෑන් යන්ත්‍ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්‍ර, විදේශ ගමන් බලපත්‍ර ස්කෑන් යන්ත්‍ර සහ ජෛවමිතික ප්‍රවේශ පාලන පද්ධතියක් අයත් වේ.



ජපන් රජයේ ප්‍රදානයක් යටතේ ලබා දෙන අධි තාක්ෂණික ස්කෑන් උපකරණ කට්ටලවල පළමු තොගය කටුනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී  ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි මහතා විසින් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත පසුගිය බදාදා (10දා) භාරදෙන ලදී.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, IMO සංවිධානයේ ප්‍රධානී සරත් දාස්, ප්‍රධාන වැඩසටහන් කළමනාකරු ශාන්ත කුලසේකර, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර,

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය යන මහත්වරුද එක්වූහ.

කටුනායක ගුවන්තොටුපොළ වෙත සෞඛ්‍යමය ආරක්ෂාව සඳහා මෙවැනි අධිතාක්ෂණික උපකරණ ප්‍රදානයක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් සපුරාලීමක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ජනතාවගේ සහ රජයේ කෘතවේදීත්වය පළකරන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

අනුර බාලසූරිය