foxhill-court

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි තරග ධාවකයන් දෙදෙනා ඊයේ (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා නියම කළේය.දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගයට ඉදිරිපත්වී අං5 යටතේ තරග කළ මාතර, මැද පාර, හිත්තැටිය ප්‍රදේශයේ රංජිත් උඩුවිට (36) සහ අංක196 යටතේ තරග කළ මහනුවර,

පේරාදෙණිය, මාකන්ද ප්‍රදේශයේ ඒ.එම්. ඩිලාන් සංජිව (47) යන අයවලුන් දෙදෙනාට මෙසේ ඇප නියම විය.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයකයන්ගේ සංගමය හා දියතලාව යුද හමුදා විද්‍යා පීඨය සංවිධානය කළ ෆොක්ස්හිල් මෝටර් රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණ.එසේ මෝටර් රථ ධාවන තරග පැවැත්වෙමින් තිබියදී තරගාවලියේ 18 වැනි ඉසව්ව ලෙස පැවති ෆෝඩ් - ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව1500 සී.සී. මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.එම මාරක මෝටර් රථ අනතුරින් අවුරුදු 8 ක කුඩා දැරියක සමග හත් දෙනකු මරුමුවට පත්වී 21 දෙනකු තුවාල ලබා දියතලාව සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය කීය.



මෙහිදී මෝටර් රථ ධාවකයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි බණ්ඩාරවෙල අධිකරණයේ නීතිඥ පාරින්ද වීරසිංහ, නීතීඥ සංජීව විජේසේකර යන මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ධාවකයන් දෙදෙනා තම තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණින් තරග කරමින් සිටියදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම ගැන කනගාටු වන බවයි.එමෙන්ම මෝටර් රථ වාහන තරගවලට රථ වාහන පනත හෝ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන මෝටර් රථ වාහන පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥ පාරින්ද වීරසිංහ සහ නීතිඥ සංජීව විජේසේකර යන මහත්වරු කියා සිටියහ.



මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි දියතලාව පොලිසියේ නිලධාරීන් පැවැසුවේ. මෙම මෝටර් රථ වාහන ධාවන තරගයේ සිදුවූ මාරක අනතුරින් පිරිසක් අගතියට පත් වී සිටින බවත්,නොසැලකිලිමත් ලෙස අනතුරුදායක ලෙස මෝටර් රථ ධාවනය කිරීම නිසා මෙම මාරක මෝටර් රථ අනතුර සිදුව ඇති බවත්ය.මෙම කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා සැකකාර ධාවකයන් දෙදෙනා ශරීර ඇපමත මුදාහැර වැඩිදුර විභාගය මෙම 30 වැනිදා තෙක් කල් තැබීය.
ප්‍රසාද් රුක්මල්