damitha-abeyratne-lenly-johnson-korea

නීත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයක් නොමැතිව කොරියන් රටේ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළේ යැයි කියන රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියාට එරෙහිව ආගාමික විගාමික පනත යටතේ මෙම නඩුව පවරා පවත්වාගෙන යමට හැකියාවක් නැතැයි

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විවෘත අධිකරණයේ දී ඊයේ (24) පැවසීය.මෙම වංචා සිද්ධියට රහස් පොලිසිය ආගමන විගමන පනත යොදාගෙන ඇත්තේ සැකකරුවන්ට ඇප දීමට උසාවියට ඇති හැකියාව අවහිර වන අන්දමට බව පෙනෙන්නට ඇතැයි ද

මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට බාර වීමට උත්සහ කළ අයකු අධිකරණය මගහරිමින් විමර්ශන කටයුතු වලට බාධා කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි යැයිද සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව දින 18ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හළේය.

රුපියල් ලක්ෂ පනහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ. පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.කොරියන් රටේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් කළේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කෙරුණ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු ආගමන විගමන පනතේ 45 ඇ 1 වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව ආරම්භ කළ විමර්ශන තවදුරටත් පවත්වාගෙන යන්නේ යැයි කීහ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති ආගමන විගමන

පනත අනුව සැකකරුවන්ට ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලයක් නැතැයි ද ඔවුන්ගේ ඇප ඉල්ලීම් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද කී රහස් පොලිස් නිලධාරීහු ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන්නැයි ද ඉල්ලා සිටියහ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයන්ගේ පෞද්ගලික නිදහසේ අයිතිය තහවුරු කිරීමට අධිකරණය බැඳී සිටින්නේ යැයි කීය.ආගමන හා විගමන පනත යටතේ තම සේවාදායකයන්ට එරෙහිව විමර්ශන නිලධාරීන් අධිකරණය සෑහීමකට පත් වන ආකාරයේ සාක්කි ඉදිරිපත් කළ යුතු වුවත් මෙතෙක් විමර්ශන නිලධාරීන් තම සේවාදායකයන්ට එරෙහිව අධිකරණය සෑහීමකට පත් වන ආකාරයේ සාක්කි ඉදිරිපත් කර නැතැයි නීතිඥ අජිත් පතිරණ මහතා කීය.

ඒ අනුව වංචා විමර්ශන ඒකකය යටතේ තම සේවාදායකයන්ට එරෙහිව තිබූ මෙම පැමිණිල්ලේ කිසිදු අන්තර්ජාල වරදක් වී නැතත් පොලිස්පතිවරයාගේ වුවමනාවට රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට යොමු කර ඇතැයි ද කීය.තම සේවාදායකයන් වාහන ගනු දෙනුවක් සඳහා මුදල් හුවමාරු කරගෙන ඇතත් විදේශ රැකියා සඳහා මුදල් ලබාගෙන නැතැයි කී නීතිඥ අජිත් පතිරණ මහතා මෙම පැමිණිල්ල ආගමික විගාමික පනතේ වගන්ති 18න් එක් වගන්තියක් යටතට හෝ වැටෙන්නේ නැති හෙයින් තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ආගමික විගාමික පනත යටතේ පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මේ තත්වය

යටතේ සැකකරුවන්ට ඇප දීමේ බලය තම අධිකරණයට ඇතැයි සඳහන් කළේය.

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර විමර්ශන සඳහා සෑහෙන කාලයක් විමර්ශකයන්ට ලැබී තිබුණත් විමර්ශන වල සැලකිය යුතු ප්‍රගතියක් තම අධිකරණයට නිරීක්ෂණය නොවන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා මේ තත්වය යටතේ සැකකරුවන්ට ඇප දීමට තීරණය කරමින් කොන්දේසි සහිත ඇප මත සැකකරුවන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියම කළේය.සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන තරිඳු වික්‍රමනායක, හරිත් හෙට්ටිආරච්චි, බුද්ධික කරුණානන්ද සහ ගයාන් කලටුවාව සමග නීතිඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.
මනෝප්‍රිය ගුණසේකර