
හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියල් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
මේ වන විට ඉන් වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය කියයි. තව ද ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි අටකට අධික ඒවා බව ද එම සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පැවැසීය.
හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු විසින් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික ප්‍රමාණයකින් ගෙවිය යුතු රුපියල් මිලියන දෙදහසකට වැඩි කුලී මෙසේ පැහැරහැර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, අධිසුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකට ගෙවිය යුතු කුලිය ලෙස ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් මිලියන 2,000කට අධික බව ත් මේ වන විට මෙම වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණය කළේ ය.
මෙම වාහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරුන් වගකිවයුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊට අදාළ නඩුවක් ද පවරා ඇතැයි පැවැසූ සමරසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම වාහන 2006 සිට ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ භාවිත කළ වාහන බව ය.
එමෙන් ම, මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමකින් කල්බදු ක්‍රමයට මෙම වාහන කුලියට ගෙන තිබේ. මේ අනුව වාහන භාවිත කළේ කුමන ජනාධිපතිවරුන් ද, ඔවුන් ගෙවිය යුතු මුදල කොපමණ ද, වාහන අංක ඇතුළු අදාළ තොරතුරු ඉදිරියේදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.
මෙම ගෙවීම් පැහැර හැරීම මත නොගෙවූ මුදලට මාසිකව අය කළ යුතු ප්‍රමාද පොළිය 3%, 4% වන මුදල් අය කිරීමට අදාළ වාහන සමාගම් කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
විශේෂයෙන් ම, ජනාධිපති වැය ශීර්ෂවලින් හිටපු ජනාධිපතිවරුන් කුමක් ද කළේ යන්න පිළිබඳව මෙහිදී ගැටලුවක් පැනනගින බව ද ඔහු පැවැසීය. මේ අනුව අදාළ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval