deshabandu-court-case
දේශබන්දු තෙන්නකෝන් මහතා පුද්ගලයකුට කෲර ලෙස පහරදී ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකළ බවට තීරණය කරමින් දුන් නඩු තීන්දුව සහිත නඩු ගොනුව සුරක්ෂිතව සේප්පුවේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය එහි ලේඛාධිකාරීවරයාට ඊයේ (02) නියම කළේය.


දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පෙත්සම ජූලි 19 වැනිදා කැඳවීමටද වැඩිදුරටත් නියම කළේය.පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මැයි මස 07 වැනිදා ගොනු කිරීමටත් ප්‍රතිවිරෝධතා ඇත්නම් මැයි 22 ගොනු කිරීමටත් අධිකරණය වැඩිදුරටත් නියම කළේය.




අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස් සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලුණි.අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම් කර ඇත.

වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දෙදෙනකු විරුද්ධත්ව ප්‍රකාශ කර තිබියදී තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නීතියට පටහැනි බව සඳහන් කරන පෙත්සමම්කරුවෝ එම තීරණය බල රහින කරන නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටිති.මේ අතර දේශබන්ධු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව පෙත්සම 07 ක් ගොනු කර තිබූ අතර එම පෙත්සම් පවත්වාගෙන නොයන බව මීට පෙර අවස්ථාවකදී පෙත්සම්කාර පාර්ශ්වයන් කළ දැනුම්දීමක් හේතුවෙන් එම පෙත්සම් විභාගයන් අවසන් කෙරිණි.



නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඇමතු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා පුද්ගලයකුට කෲර ලෙස පහරදී ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව සහිත නඩු ගොනුව මෙම නඩුවේ ලේඛනයක් ලෙස නම් කර ඇති හෙයින් එම නඩු ගොනුව සුරක්ෂිතව සේප්පුවේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියම කළේය. පෙත්සම ජූලි 19 වැනිදා කැඳවීමටද වැඩිදුරටත් නියම කෙරිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සුරේන් ප්‍රනාන්දු, ෂමල් පෙරේරා, විරාන් කොරයා යන මහත්වරු පෙනී සිටියහ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
රන්ජන් කටුගම්පොළ