වැලිගම උඩුකාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී සැකකටයුතු අන්දමින් මියගොස් සිටීම නිසා රෝහල මගින් සිදුකළ දැනුම්දීමක් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිගම පොලිසිය පවසයි.වැලිගම පොලිස් වසමේ උඩුකාව කොස්ගහහේන ප්‍රදේශයේ

පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු සෑම දිනකම මත්පැන් පානය කොට නිවෙසට පැමිණ සිය බිරිඳ සමග ආරවුල් ඇති කරගන්නා බවත් මෙම පුද්ගලයා ඊයේ (02) පස්වරුවේදී මත්පැන් පානය කොට නිවෙසට පැමිණ බිරිඳට පහරදී ඇත.

එම අවස්ථාවේදී නයිලෝන් වර්ගයේ කඹයක් භාවිතා කරමින් බිරිඳ විසින් සිය ස්වාමිපුරුෂයා නිවෙසේ ඉදිරිපස තිබූ වැරැන්ඩාවේ කනුවක ගැට ගසා තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පවසයි.

අනතුරුව මඳ වේලාවකින් පසුව විපරම් කිරීමේදී සිය සැමියා සිහිසුන්ව සිටින බව දැක බිරිඳ විසින් සිය ස්වාමිපුරුෂයා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවත් එහිදී වෛද්‍යවරුන් විසින් පරික්ෂා කිරීමේදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවත් අනාවරණයවී ඇත. එම අවස්ථාවේදී රෝහල මගින් වැලිගම මූලස්ථාන පොලිසියට මරණය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.



සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ වන වයස 47 කාන්තාව සැකපිට පොලිස් බාරයට ගෙන ඇති අතර මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) මාතර මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව සිටියේය.සිද්ධිය පිළිබඳව වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවයි.
තරංග ගුණරත්න