akila-viraj-unp-speaks

එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය වන සංවිධානාත්මක හැකියාව මේ රටට පෙන්නුම් කරන්නට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (02දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එක්සත් ජාතික පක්ෂය මරදාන ටවර් රගහල ඉදිරිපිට දී මෙවර මැයි රැළිය පැවැත්වීමට සූදානම් වන බව ද හෙතෙම සඳහන් කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.



"එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දිනය ඉතා ආඩම්බරයෙන් සැමරීමට සූදානම් වෙනවා. මරදාන ටවර් රගහල ඉදිරිපිටදී එම රැළිය පැවැත්වීමට සියලු කටයුතු මේ වෙනකොට සංවිධානය වෙමින් පවතිනවා.ආර්ථික අර්බුදයක් පවතින යුගයක අපේ කම්කරු පන්තිය විශාල කැපවීමක් සිදු කරලා තිබෙනවා. ඒ නිසා තමයි මේ රට මේ ආකාරයෙන් ගොඩ එන්නට හැකියාව ලැබුණයි කියන එක අපි පළමුව මතක් කළ යුතුයි. තමන්ගේ ශ්‍රම දායකත්වය ලබාදෙමින් මේ වැටුණු ආර්ථිකය ගොඩගන්නට ඔවුන් දක්වපු දායකත්වය පිළිබඳව අපි මැයි දිනයේදී ඔවුන්ට කෘතඥතාව පළ කරන්නට සූදානම් වෙනවා.

බොහෝ දේශපාලන පක්ෂ කල්පනා කළේ වැඩකරන පන්තිය පාවිච්චි කරලා මේ ගෙනියන ක්‍රමවේදය කඩාකප්පල් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පමණයි. ජනතාව පාරට දාලා වැඩවර්ජනය කරලා විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වෙන්නට ඔවුන් උත්සාහ කළා. ඒ සියල්ලට නොරැවටී වැඩ කරන ජනතාව මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිය ලබා දුන්නයි කියන එක අපි මතක් කළ යුතුයි.

හිරෝශිමා,නාගසාකි බෝම්බයෙන් පස්සේ පාත මිනිස්සු වැඩවර්ජනය කළේ නැහැ. ඒ අළු දූලි මතින් නැගිටගෙන ඇවිල්ලා නැවතත් රට ගොඩනගන්න වැඩ කළා.

එහෙමයි රටට වැඩ කරන ආදරේ කරන මිනිස්සු වැඩ කරන්නේ කියන එක මතක් කළ යුතුයි. අපේ රටේ වැඩ කරන මිනිහට කරන්න දෙන්නෙත් නෑ කකුලෙන් අදින තත්ත්වයක් තමයි තියෙන්නේ, ලංකාවේ විපක්ෂයේ දේශපාලනඥයෝ හිතන විදිය වෙනස්. ඔවුන් හිතන්නේ රට න් ගැන නෙමෙයි. විස්සයි විසිදෙක වසර ඉඳන් පෙට්‍රල් නැතුව ඉන්ධන නැතුව පෝළිංවල ඉඳලා අරගල ඇතිවෙලා මිනිස්සු දුක් විඳිද්දිත් ඒ අතරෙනුත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නට මේ පිරිස උත්සාහ ගත්තා. ඒ වගේම මැයි පළවෙනිදාට එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය හා සංවිධානාත්මක හැකියාව අපි මේ රටට පෙන්නුම් කරන්නට සූදානම් වෙනවා.”

නවෝද්‍යා පවනි