anamaduwa-incident

ශබ්ද විකාශනයකින් අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්, ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරියකු හදිසියේ  ක්ලාන්තව නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (24) මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ,

ආණමඩුව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් (76443) සරත් උපාලි වර්ණසූරිය නමැති,හතළිස් දෙහැවිරිදි වියේ පසු වූ පොලිස් නිලධාරියකු බව පොලිසිය පවසයි.

මියගිය පොලිස් නිලධාරියා නවගත්තේගම බුද්ධිජයසිරිගම අංක 34 ලිපිනයේ පදිංචි, දරුවන් දෙදෙනකුගේ පියකු බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය පොලිස් නිලධාරියා පෙරේදා (23) පස්වරුවේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සමග ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කළ, ආණමඩුව පොලිසියට අයත් ත්‍රිරෝද රථයකින් ආණමඩුව උසවැව මාර්ගයේ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේ මෙලෙස හදිසි ක්ලාන්ත රෝගී තත්වයක් ඇති වූ බව ද පොලිසිය සඳහන් කරයි.



පසුව ඔහු සමග සිටි නිලධාරීන් දෙදෙනා, රෝගී තත්වයට ලක්වූ සහෝදර නිලධාරියාව වහාම ආණමඩුව රෝහලට ඇතුළත් කරන ලදුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසුව එදිනම රාත්‍රියේ ඔහු මරණයට පත්වූ බව ද පොලිසිය සඳහන් කරයි. මියගිය පොලිස් නිලධාරියාගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය කොට්ඨාස බාර හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ නිකවැරටිය මූලික රෝහලේදී ඊයේ (24) සිදු කිරීමට නියමිතව තිබුණි.
ප්‍රියාණි මංගලිකා