අඩු මුදලකට ගෑස් සැපයීමට ඉදිරිපත් කර තිබූ ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 114කට ආසන්න පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමරිශනයක් ආරම්භ කර ඇත.අඩු මිලට ගෑස් සැපයීමට සියෑම් ගෑස් ට්‍රේඩින් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරයට ප්‍රසම්පාදන හා ඇගයීමේ කමිටුවල අනුමැතිය හිමිව තිබියදී එම ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමෙන් දූෂණය නමැති වරද කර ඇතැයි පවසමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් 'අල්ලස දුෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුටුතුව සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.



අල්ලස් කොමිසමේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක -එම්.ඊ. අබේසිංහ මහතා කළ කැඳවීමකට අනුව අල්ලස් කොමිසමේ පෙනී සිටි කාමන්ත තුෂාර මහතා රජයට රුපියල් කෝටි 114කට ආසන්න පාඩුවක් කිරීමේ සිද්ධියට අදාළ විශේෂ විගණන වාරිතාද අල්ලස් කොමිසමට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් දුන්නේය.අඩු මුදලකට ගෑස් සැපයීමට ඉදිරිපත් කර තිබූ ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ගෑස් මිලදී ගෙන ඇත්තේ කැබ්නට් මණ්ඩලයේද අනුමැතිය ලබාගෙන බවත්, 2022 වර්ෂයේ මාස 07ක කාලයක් තුළ මෙලෙස වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 114කට ආසන්න පාඩුවක් කර ඇති බවත් කාමන්ත තුෂාර මහතා කොමිසමට පෙන්වා දී ඇත.



එල්.පී. ගෑස් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලරි 96කට සැපයීමට සියෑම් ගෑස් ට්‍රේඩින් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය අවංලගු කර එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 118.23කට සැපයීමට ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් ඉදිරිපත් කළ ටෙන්ඩරය යටතේ 2022 වර්ෂයේ මාස 07ක් පුරා එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 147.83ක් මිලදී ගැනීමෙන් රජයට මෙම පාඩුව කර ඇතැයිද විගණන වාරිතාව මගින් පෙන්වා දී ඇත.එම විගණන වාර්තාද ඉදිරිපත් කරමින් කාමන්ත තුෂාර මහතා කොමිසමට හෙළි කළ තොරතුරු මත අල්ලස් කොමිසම ඉදිරි විමර්ශන කරන බව කොමිසමේ කාශකයෙක් සදහන් කළේය.

බුද්ධිමාල් රුබේරු