දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා කඩා දැමූ දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව කපුගොල්ලෑව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 13 වැනිදාය. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අනුරාධපුර තිරප්පනේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකි.

පහර කෑමට ලක් වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයගේ දත් දාහතරක් කට තුළට නෙරා ගොස් ඇති බවත් එම දත් නැවත සකස් කිරීමට ශල්‍යකර්මයක් කළ යුතු බවට දන්ත වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර බලා නිර්දේශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

අවුරුදු හතළිහක වයසේ පසුවන මෙම කාන්තාවගේ අවුරුදු විසි එකක් වයස පුතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි.කොස්තාපල්වරයාගේ සහෝදරයා  කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පසුගිය 11 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර මෙම නඩුව ලබන මැයි මස 28 වෙනිදා නැවත කැඳවීමට

නියම කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරි විවේකය ලබාගෙන නිවෙසට ගොස් සිටියදී ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා සහෝදරයා සමග ගොස් ඇතැයි කියති. ඒ අවස්ථාවේ ඇතිවූ ආරවුලකින් පසු මෙම හතළිස් හැවිරිදි වියේ පසු වන කාන්තාව ගේ ඉඩමට අයුතු ලෙස ඇතුළු වී ඇයට පහර දීමක් සිදු කර දත් කඩා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.කපුගොල්ලෑව පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය