angoda-lokka-reveal

දඹරන් සහ මැණික්වලින් නිර්මාණය කළ අධික වටිනාකමක් සහිත පත්තිනි දේව ප්‍රතිමාවක් නුවර ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී ටී 56 ගිනි අවි ළඟ තබාගැනීම, දේපළ කොල්ලකෑම, මුදල් කොල්ලකෑම ඇතුළු නඩු 24 ක් පවතින පුද්ගලයකු ඇතුළු සැකකරුවන් නිදෙනකු පෙරේදා (15) මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයකු බව පොලිසිය පවසයි.සැකකරු 2002 වසරේදී යතුරුපැදියක් කොල්ලකෑම, 2007 වසරේදී පිස්තෝලයක් සහ ජීව උණ්ඩ ළඟ තබාගැනීම, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, 2005 වසරේදී වෑන් රථයක් කොල්ලකෑම ඇතුළු නඩු 24 ක් පවතින පුද්ගලයකු බවත් ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය පවසයි.



දඹරන් සහ මැණික් වලින් නිර්මාණය කළ අධික වටිනාකමක් සහිත පත්තිනි දේව ප්‍රතිමාවක් විකිණීමට යන බවට ලද තොරතුරකට අනුව කැලණිමුල්ල සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලදී ඉකුත්දා (14) දෙදෙනෙක් මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකෑම්, ගිනි අවි ළග තබා ගැනීම් ඇතුළු තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 47 ක්, 43 ක් සහ 37 වයසැති අංගොඩ, කඩුවෙල සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචි තිදෙනෙකි.

දඹරනින් සහ මැණික් එබ්බවූ පත්තිනි දේව ප්‍රතිමාවක් අලෙවි කිරීමට යන බවට මුල්ලේරියාව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතාට ලද පෞද්ගලික තොරතුරකට අනුව එම ප්‍රතිමාව විකිණීමට සූදානම් වූ බව කියන පුද්ගලයකු කැලණිමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු මෙම දේව ප්‍රතිමාව දින දෙකක් ඔහු සන්තකයේ තබාගෙන වෙනත් පුද්ගලයකු විසින් එම ප්‍රතිමාව සැකකරුට ලබාදී ඇති බවත් පැවසූ බව පොලිසිය කියයි.පසුව එම දේව ප්‍රතිමාව ලබාදුන් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. තවත් සැකකරුවකු කැලණි මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් පොලිසිය අනාවරණය කර ගෙත තිබේ.



සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දේව ප්‍රතිමාව ලබාගත් ස්ථානයක් ඔවුන් නොදන්නා බවත් කොපමණ මුදලකට එය විකුණන්නේ ද යන්න පවා නොදන්නා බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව මුල්ලේරියාව ප්‍රදේශයේදී තවත් සැකකරුවකු පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව පත්තිනි දේව ප්‍රතිමාව ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. මෙම දේව ප්‍රතිමාව පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී. එස්. ජයමහ මහතාගේ උපදෙස් පරිදි මුල්ලේරියාව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

ගයාන් සූරියආරච්චි