aids-sri-lanka

2024 ගත වූ මාස තුන තුළ ශ්‍රී ලංකාවෙන් HIV (ඒඩ්ස්) ආසාදනය වූ නව රෝගීන් 695 දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය. එය පසුගිය වසරට වඩා 14% ක වර්ධනයකි.



දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයන් හමුවන අතර කොළඹ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක සායනවලදී හඳුනාගැනෙන HIV සහ ලිංගාශ්‍රිත රෝගීන් සංඛ්‍යාව 40% ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබේ.

තරැණ තරැණියන් තුළ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අවබෝධයක් නොමැති වීම මෙලෙස රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමට බලපා ඇති අතර ඒ සම්බන්ධයෙන් වයසට සරිලන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් පාසල් වියේ සිට ලබා දිය යුතු බවද ඇය සඳහන් කළාය.

කිසියම් පුද්ගලයකුට HIV සහ ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී තිබේදැයි මූලික වශයෙන් දැනගැනීමට සහ රෝග පරීක්ෂාවක් සඳහා වේලාවක් වෙන්කර ගැනීම සඳහා ''KNOW  FOR SURE'' නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇති අතර එමගින් තමන්ට රෝගයක් වැළඳී තිබේදැයි රහසිගතව දැනගත හැකි බවද ඒ සඳහා ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවෙසටම ගෙන්වාගත හැකි බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.

(ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)