basil-namal-political-change

පසුගිය සතියේ බදාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීම පැවතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවෙසේදීය. ඉදිරි තීරණාත්මක මැතිවරණ වසර තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමේ අරමුණ සහිතව මෙම විධායක සභාව කැඳවා ඇතැයි කල් ඇතිව ආරංචි පැතිර ගියේය.

පොහොට්ටුවේ ආරංචි මාර්ග තහවුරු කළ පරිදි 280ක් පමණ වූ විධායක සභාවේ සාමාජිකයන් අතරින් 260කට ආසන්න පිරිසක් මෙදින පැමිණ සිටියහ. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ඇරඹුණි.

පිරිස පිළිගනිමින් කරුණු කාරණා පැහැදිලි කළ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සභාව උණුසුම් කළ කතාවට මුල පිරීය.



“අද අපිට පැවරිලා තියෙන ප්‍රධානම කටයුත්තක් තමයි පුරප්පාඩු වෙලා තියෙන ජාතික සංවිධායක ධූරය පිරවීම."

මෙම ප්‍රකාශයත් සමඟ සභාවේ එකම කාලගෝට්ටියක් විය. පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉවත්වීමත් සමඟ වෙනත් අයකු එම තනතුර සඳහා පත්කර ගැනීම පිළිබඳ කසුකුසුව තිව්ර විය.

“අපිට ඕනෑ බැසිල් සර්. වෙන කෙනෙක්ට මේක කරන්න බැහැ."

පැමිණ සිටි අයගෙන් බහුතරය බැසිල් රාජපක්ෂ විසින්ම මෙම තනතුර හෙබවිය යුතු බව නැවත නැවත කීහ.

“මට මෙතැන මුකුත් කරන්න බැහැ. එතුමා මේ සභාවේ ඉන්නවනේ. ඔබතුමා ඇවිල්ල කරුණාකරලා මේක පැහැදිලි කරන්න."

ඇතිවූ කලබලය හමුවේ බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීම පිළිබඳ කරුණු පැහැදිලි කරන්නට ඉදිරිපත් විය.

“මම කාලයක් මේ තනතුර දැරුවා. මැතිවරණ තුනක් ජයග්‍රහණය කරලා දුන්නා. ඉදිරි මැතිවරණයත් ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

ඒත් තනතුර සඳහා ඕනෑ ගම් මට්ටමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන කෙනෙක්. මට ඒ සඳහා කාලයක් නෑ. මූලස්ථානයේ කළ යුතු වැඩ තියෙනවා."

බැසිල් රාජපක්ෂගේ පැහැදිලි කිරීම අතර මේ වන විටත් ගමට ගොස් වැඩ කරන රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ ආදී චරිතවල නම් ද ඉස්මතු විය. අවසානයේ නාමල් රාජපක්ෂ මෙම තනතුර සඳහා යෝජනා වූයේද බැසිල් රාජපක්ෂ පාර්ශ්වයෙන්මය.

පසුගිය දිනවල පොහොට්ටුව වෙනුවෙන්  බර කරට ගෙන දසබල සේනා ආදී වැඩසටහන් ක්‍රියාත්මක කළ නාමල් රාජපක්ෂ මෙම තනතුර සඳහා සුදුසු බවට බැසිල් රාජපක්ෂ ගෙන ආ යෝජනාව සභාවේ සෙසු අය අනුමත කළහ.

මෙම විධායක සභාවේදී තවත් වැදගත් දේශපාලන සාකච්ඡා රැසක් සිදුව තිබුණි. ඒ අතර පොහොට්ටුවේ ඇතැම් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළ පරිදි ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයකු තෝරා නම් කරන තුරු අපේක්ෂකයන් ගැන කතා නොකිරීමට ද පොහොට්ටුව තීරණය කර ඇතැයි කියැවුණි.
(Deshaya)