water-issue

නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිවයින පුරා පවුල් 4,125කට අයත් 14044 දෙනකු පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බව එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3,415 ක 11,124 දෙනකු

පානීය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2351 කට අයත් 7,053 දෙනකුද, මහර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 917කට අයත් 3,655 දෙනකුද, අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25 කට අයත් 79 දෙනකුද, මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 122 කට අයත් 337 දෙනකුද, පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය.මෙයට අමතරව, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 710 ක 2,920 ක දෙනකු පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය. එම පිරිස වරකාපොළ, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බවද එම ප්‍රකාශකයා පැවැසීය.
නිමල කොඩිතුවක්කු