රුසියානු පුරවැසිභාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.එම ශ්‍රී ලාංකිකයන් මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 ක් පමණ) වැටුපකට රුසියානු හමුදාවේ සේවය කරන බව ද එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.



ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින  සොල්දාදුවන් බොහෝ පිරිසක් මේ වනවිට රුසියානු හමුදාවට බැඳීමට උත්සාහ දරමින් සිටින බවත් ඔවුන් තම පවුලට හොඳ කාලයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක්වීමට පවා සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගත් 27 හැවිරිදි නිපුණ සිල්වා නමැත්තකු මෙම මස මුලදී යුක්රේන හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඩොනෙස්ක් නගරයේ බංකරයක සේවය කරමින් සිටියදී එල්ල වුණු යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් නිපුණ මියගිය බව සේනක බණ්ඩාර පැවැසුවේය.ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත්වලට සහ පාදවලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණ කර තබාගෙන පැමිණෙද්දී තවත් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඔහු දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

නිපුණ නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 19 මුදලක් ලබා ගෙන තිබූ බවත් එය ආපසු ගෙවීමට අපහසු වූ බවත් නිපුණගේ භාර්යාව අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කළාය.

නොයෙකුත් බාධක වලින් පසුව රුපියල් ලක්ෂ 12ක් ඒජන්සියට ගෙවා රැකියාවක් සඳහා පසුගිය වසරේ ජූනි මාසයේදී රුසියාවට පැමිණියත් එම රැකියාවෙන් ලැබූ රුපියල් 160,000 ක මාසික වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පවුලේ දැඩි අකැමැත්ත මත රුසියානු හමුදාවට බැඳුණු බවද ඇය සඳහන් කළාය. නිපුණගේ මරණයත් සමඟ රුසියානු හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ දක්වා දෙරට අතර යුද්ධය හේතුවෙන් මිය ගොස් ඇති බවත් යුක්රේන හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු මේ දක්වා යුද්ධය හේතුවෙන් මියගොස් ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.