sonuththara-temple-issue

මහියංගණ, දඹාන, කුකුළාපොළ සෝනුත්තර මහා විහාරයට ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මහියංගන පොලිසිය කියයි. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවකුට හෝ හානියක් වී නොමැත. විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිඳී ඇති බවත් පොලිසියේ ප්‍රකාශකයෙන් පැවසීය.

කුකුළා පොළ ගම්මානයේ ජාවාරම් සම්බන්ධයෙන් ඊට විරෝධය දැක්වීම හේතුවෙන් පිරිසක්  විහාරස්ථානයට වෙඩි තබන්නට ඇතැයි සැක කරන බව විහාරාධිපති පොල්පැලකැටියේ පඤ්ඤාරතන හිමියෝ පැවසූහ. විරාධිපති හිමියෝ මෙසේද කීහ. තුන්මාසේ බණ ගෙදරක බණට වැඩම කර පැමිණ විහාරස්ථානයේ සැතපී ඉඳිද්දී , රාත්‍රි 12.30ට විතර ලොකු ශබ්දයක් ඇහුණා. ඒ එක්කම කාමරයේ වීදුරු කුඩුවෙලා බිමට වැටුණා. නැගිටලා බලද්දී වෙඩිබෙහෙත් ගඳකුත් දැනුණා.

මම අඩමානෙට හිතුවා වෙඩි ප්‍රහාරයක් තමයි එල්ල වුණේ කියලා. ජනේලේ සිදුරු දෙකක් තියෙනවා. ඇතුළේ මුනිස්සම් කැබැලි දෙකක් තියෙනවා.

අපි පැමිණිලි කළාට පස්සේ මහියංගණ පොලිසියෙන් ඇවිත් එම වෙඩි ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. විශේෂ පෞද්ගලික තරහකාරයන් අපිට මේ ගම්මානයේ නෑ. අපි භික්ෂූන් වහන්සේලා හැටියට මේ ප්‍රදේශයේ දුරාචාර විවේචනය කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ ගම්මානයේ තදින්ම පවතින ජාවාරම තමයි කසිප්පු ජාවාරම, ඒ වගේම වැලි ජාවාරම්, දැව ජාවාරම් වගේ ඒවා සුලභව තියෙනවා. ඇතැම් වෙලාවට විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන විහාරස්ථානය මුවාවෙනුත් එම ජාවාරම් කරපු අවස්ථා අපට දකින්නට ලැබුණා. එවැනි අවස්ථාවලදී අපි එවැනි පුද්ගලයන් විවේචනය කරලා විහාරස්ථානයෙන් බැහැර කරන්නට සිද්ධ වුණා.

ඒ වගේම කසිප්පු ජාවාරම් නිසා ප්‍රදේශයේ සිදුවන අකල් මරණ වලට පාංශුකූල වලට ගියාම ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න මත්ද්‍රව්‍ය විවේචනය කරන්න සිද්ධවෙනවා. මේ නිසා පුද්ගලයන් පස් දෙනකු පමණ අපිත් එක්ක උරණ වෙලා නොයෙක් ආකාරයෙන් විහාරස්ථානයේ කටයුතු කඩා කප්පල් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා.

ගමේ මිනිස්සු විහාරස්ථානය එක්ක තියෙන සම්බන්ධකම් බිඳවන්න කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා මෙම ක්‍රියා ඒ පිරිසගේ කඩා කප්පල් ක්‍රියාවක් විය හැකියි කියා මම අනුමාන වශයෙන් සිතනවා. ඒ අය පන්සලට ඇවිත් තර්ජනය කරලා නෑ. නමුත් ගමේ ගෙවල් ගානේ කඩවල් ගානේ නොයෙක් විදියේ තර්ජන සිදු කරමින් ගිය අවස්ථා ගැන අපිට අහන්න ලැබිලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් මහියංගණ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මහියංගණ පොලිසිය විමර්ශන පවත්වයි.
 රංජිත් කරුණාවීර