The-pilots-fall-asleep-and-avoid-a-plane-crash

අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුරදී එම ගුවන් යානයේ නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.මෙසේ නින්ද ගොස් ඇත්තේ, ඉන්දුනීසියාවේ ජනප්‍රිය ගුවන් සේවයක් ලෙස සැලකෙන ‘බතික් එයාර්' ගුවන් සේවයට අයත් එයාර් බස් ‘ඒ 320’ වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනාටය.

එම අවස්ථාවේදී යානය, ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ගුවන්තොටු පොළේ සිට

ජාකර්තා අගනුවර ගුවන්තොටුපොළ තෙක් පියාසර කරමින් තිබුණි. නියමුවන් දෙදෙනා ද සමග යානයේ මගීන් සහ කාර්යමණ්ඩලය 153 දෙනකු සිට ඇත.

නියමුවන්ට නින්ද යෑමෙන් යානය සුළු වේලාවකට නියමිත ගමන් මාර්ගය මගහැර වෙනත් දිසාවකට පියාසර කර ඇත. කෙසේ නමුත්, නියමු පාලන කුටියේ අනතුරු නළා නාද වීමත් සමග වහා අවදි වූ නියමුවෝ, යානය නියමිත දිසාවට පියාසර කරවීමටත්, ඉන් පසු එය ජාකර්තා ගුවන්තොටුපොළට ගොඩබෑමටත් සමත් වූහ.පසුගිය ජනවාරියේ සිදු වුණු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වුණු අතර, ඉන්දුනීසියා මාධ්‍ය මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කළේ එම විමර්ශන අවසන් වීමෙන් අනතුරුවය. 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන්ගත වීමෙන් පැය භාගයකට පමණ පසු සහායක නියමුවාට දන්වා ඇත්තේ, තමන්ට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය බාර ගන්නා ලෙසය.



සහායක නියමුවා ඊට අවනත වී ඇති නමුත්, පසුව ඔහුට ද නින්ද ගොස් ඇත. තම බිරිඳ මාසයකට පමණ පෙර නිවුන් දරුවන් බිහි කළ බවත්, දරුවන් බලා ගැනීමට බිරිඳට සහාය පළ කළ බැවින්, පසු දා තමන්ට හරිහැටි නින්දක් නොලැබුණු හෙයින්, තමන්ට නින්ද ගියේ ඒ නිසා බවත්, විමර්ශනයේදී සහායක නියමුවා නිදහසට කරුණු දක්වා ඇත. එසේ වුවත්, ‘බතික් එයාර්' ගුවන් සේවය, නියමුවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.