new-method-of-gov-bribe

කිලෝමීටරයක් රුපියල් 300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් සීයක පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාවේදී තොරතුරු අනාවරණය විය.



මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක මේ බව සඳහන් වන්නේ යැයි එම කාරක සභාව පවසයි.බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.



රාජ්‍ය අංශය සතුව වාහන අසූ දෙදාහක් පමණ පවතින බවත් ඉන් ධාවන තත්වයේ පවතින්නේ වාහන හැත්තෑහය දාහක් පමණක් බවත් කාරක සභාවේදී හෙළිවිය. මේ අනුව ධාවන තත්වයේ නොපවතින වාහන සංඛ්‍යාව 5500කි.ධාවන තත්වයේ පවතින වාහනයක් කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රුපියල් 300ක් 500ක් අතර වන බවත් මෙම පර්යේෂණ වාර්තාව අනුව පෙනී යන බවද කාරක සභාව සඳහන් කරයි.

රාජ්‍ය ආයතන වලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශයෙන් ගන්නේ නම් රුපියල් සීයක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව එහිදී අනාවරණය විය.මේ අනුව ක්‍රමානුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් රුපියල් කෝටි 2000 ක් පමණ රාජ්‍ය ආදායම ඉතිරි කර ගත හැකි බව

කාරක සභාව පෙන්වා දෙයි.මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් පර්යේෂණ පත්‍රිකාව පිළිබඳවද ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න