negombo-spa-raided

මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.මේවා කළමනාකරණය කළ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගෙන ද ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම සම්බාහන මධ්‍යස්ථාන පනස් පහ වසා දැමීමට ද කටයුතු කළ බව පොලිසිය පවසයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කරනු ලැබූ වැටලීමක දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් පසුගිය දිනක සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ලෝලීන් පිරිසට සමාජ රෝග වැළඳී ඇත්දැයි සොයා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමේදී එක් අයකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී යැයි පොලිසිය කියයි.ඒඩ්ස් වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටි බව කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවක සමග අඹු සැමියන් ලෙස ගත කළ බව පොලිසියට හෙළි කර ඇත.



මේ සමග සිදු කළ මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන වැටලීම්වලදී සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් සහ තරුණියන් එකසිය පනස් දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව එයින් දෙදෙනෙකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය හෙළි කළේය. මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම වැටලීම් සිදු කළහ.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය