ma-oya-incident

පොල්ගහවෙල, වළකුඹුර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය නවවැනි ශ්‍රේණියේ පාසල් සිසුන් හය දෙනකුගෙන් සිවු දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය දරුවන් සිවුදෙනාගේ සිරුරු සිද්ධිය වී පැය එක හමාරකට පමණ පසු ගොඩගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පැවැසූහ.පොල්ගහවෙල සාන්ත බර්නදෙත් පාසලේ එකම පන්තියේ සිසුන් 11 දෙනකු වළකුඹුර පාසල් මිතුරකුගේ නිවෙසට පැමිණ ඇති අතර නිවැසියන් ඔවුනට කෑම පිළියෙළ කරන තෙක් මෙම දරුවන් අසල මාඔයට දිය නෑමට ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී යැයි පොලිසිය කියයි.



සිසුන් 11 දෙනාගෙන් හය දෙනකු දියනෑමට පළමුව ඔයට බැස ඇති අතර එහිදී එම සිසුන් හය දෙනාම දියේ ගිලී ඇතිබව පොලිසිය කියයි. එම සිසුන්ගේ වළකුඹුර යාළුවා ද සිටි බව පොලිසිය කියයි.යාළුවන් ගිලෙනු දුටු ගොඩ සිටි සෙසු යාළුවන් කෑ ගසා ඇති අතර එම ශබ්දයට අසල නිවෙසේ සිසුවාගේ පියා ද අවට පිරිස් ද පැමිණ දරුවන් ගොඩ ගැනීමට යුහුසුලුව කටයුතු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එහෙත් ඒ වනවිටත් දරුවන් සිවු දෙනකු මියගොස් සිටි අතර, බරපතළ තත්වයේ සිටි දරුවන් දෙදෙනකු අලව්ව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි ද පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ වළකුඹුරේ පදිංචි කලණ ලක්ෂිත අමරසිංහ, මැද්දලන්ද පදිංචි කවීන් තෙනුර, තල්වත්තේ ගෙදර පදිංචි රවිඳු රංජිත් පද්මසිරි සහ වලකුඹුරේ පදිංචි විදාස් දෙව්මිණ යන සිසුන් සිවු දෙනාය.

සිසුන් පැමිණ සිටි අලව්ව, වළකුඹුර නිවෙසේ මිතුරා ද මියගිය සිසුන් අතර වන බව පොලිසිය කියයි.මියගිය දරුවන්ගේ සිරුරු අලව්ව රෝහලේ තැන්පත් කර ඇත. අලව්ව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

 අතුල පී. බණ්ඩාරනායක