bank-negombo-lady-arrested

බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් කෝටි 8 කට අධික මුදලක් වංචා කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබුවාය. අත්අඩංගුවට ගත් සැකකාරිය ලුණුවිල ප්‍රදේශයේ  41 හැවිරිදි තැනැත්තියක බව පොලිසිය කියයි.මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික පෞද්ගලික බැංකුවක කළමනාකරු ඉකුත් 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව



සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිනී අන්තර්ජාල බැංකු පහසුම යටතේ තම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඇයගේ සැමියාගේ බැංකු ගිණුම් දෙකකට රුපියල් මිලියන 33 ක් සහ සැකකාරියගේ ගිණුමකට රුපියල් මිලියන 13 ක් බැර කර ඇති බවය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය විසින් රුපියල් මිලියන 84 ක් පමණ වංචා කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී තිබේ.මෙම වංචා කළ මුදල්වලින් මිලියන 10 වැය කර සැකකාරිය සහ ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබූ බවත් පැමිණිල්ල ලැබීමට පෙර සැකකාරිය විසින් බැර කළ මුදල්වලින් ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාවට පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.



ඒ අනුව විමර්ශන නිලධාරීන් වහා ක්‍රියාත්මක වී සැකකාරියට විදේශ ගමන් අත්හිටුවීමේ නියෝගයක් අධිකරණය මගින් ලබාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පෙරේදා (25) සැකකාරිය අත්අඩංගුවට ගත්හ.විමර්ශන නිලධාරීන් සැකකාරිය පදිංචි නිවෙස පරීක්ෂාවට ලක්කිරීමේ දී අන්තර්ජාල බැංකු පහසුකම් සඳහා භාවිත කරන ලද වටිනා ජංගම දුරකතනයක් සහ මුදල් වංචාවෙන් උපයාගත් රුපියල් කෝටියක් පමණ භාවිත කරමින් උකස් කරන ලද ඉඩමක් බේරාගැනීමට අදාළ ලිපි ලේඛන ද සොයාගෙන තිබේ.
ගයාන් සූරියආරච්චි