keheliya-hospital

රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උසාවියට ගෙනඒමට යොදාගෙන ඇත්තේ ඛන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහනය කිරීමට යොදා ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.





මෙම වෑන් රථයේ ළමයින් හැර රැඳවියන් ප්‍රවාහනය කිරීමට කිසිසේත් යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරීමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබූ කොන්දේසියද උල්ලංඝනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වුවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල මහතා උසාවියට ගෙනඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සෙසු සැකකරුවන් බන්ධනාගාර

බස් රථයකින් උසාවියට ගෙනආවද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අවස්ථා කිහිපයේදීම උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ කේ.ඩී.එච්. වර්ගයේ සුඛෝපභෝගි වෑන් රථයක් බව පෙන්වා දෙන පැමිණිලිකරු බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකුගේ වුවමනාව මත සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙම වරප්‍රසාදය දී ඇතැයිද සඳහන් කර ඇත.මෙම පැමිණිල්ලට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය හෙළිකර ගැනීම සඳහා රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
 (මනෝප්‍රිය ගුණසේකර)