couple-who-came-to-a-lodge-was-cut-open-in-the-hospital

ඉංගිරිය, බෝධිනාගල පුදේශයේ නවාතැන්පොළකට පැමිණි යුවළක පිරිමියා පිහියකින් කාන්තාවගේ ගෙල කපා, එම පිහියෙන්ම ඔහුගේද ගෙළ කපා ගෙන සියදිවි හානි කරගැනීමට තැත් කිරීමේ සිද්ධියක් ඊයේ (18) වාර්තාවේ.සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.සිද්ධියට මුහුණ දුන් කාන්තාව ඉංගිරියට නුදුරු පෝරුවදණ්ඩ, පනංගලවත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තැනැත්තියකි. 48 හැවිරිදි පුරුෂයා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.





අනියම් ඇසුරක් මෙම සිද්ධියට මුල්වී ඇතැයි මෙතෙක් කළ පරීක්ෂණවල දී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. කාමර කුලියට දෙන ස්ථානයට පළමුව පිරිමියා ඊයේ උදේ 10.00ට පමණ පැමිණ ඇති බවත්, ඔහු කාමරය ලබාගෙන සුළු වේලාවකින් පසුව කාන්තාව දෙවනුව එම ස්ථානයට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි. පැයක පමණ කාලයක් ගතවෙද්දී එම කාමරය දෙසින් කාන්තාවකගේ කෑ ගැසීම් ශබ්දයක් ඇසුණු බවත්, නවාතැන් පොළේ සේවකයන් කාමරයේ දොරට ගැසූ මුත් එය විවෘත නොවූ තැන ඔවුන් එහි කළමනාකාරවරයාට සිද්ධිය දැනුම්දීමට ගොස් ඇති බවත් කියති.

ඒ මොහොතේම කාමරයේ දොර වහා විවර කළ පිරිමියා ඉන් පිටතට පැන

තමා පැමිණි යතුරු පැදියේ නැඟී ඉංගිරිය-හොරණ ප්‍රධාන මාර්ගය ඔස්සේ හොරණ දෙසට වේගයෙන් ගමන් කර ඇති බවත් හෙළිවී ඇත. පසුව බවුන්ඩර් පෙදෙස නම් ප්‍රදේශයේ පිහිටි නාන තොටුපළකට පැමිණ ඇති මෙම පුද්ගලයා, යතුරුපැදිය එම ස්ථානයේ අතහැර දමා පිහියකින් සිය ගෙල කපාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇත.

විවෘත වූ කාමරයට ඇතුළු වූ නවාතැන්පොළේ සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙල, උදරය ඇතුළුව ශරීරයේ විවිධ ස්ථානවල බරපතළ කැපුම් තුවාල සහිතව කාන්තාව කාමරයේ වැටී සිටිනු දක්නට ලැබී ඇත.පසුව එම කාන්තාවත් ගෙලෙහි කැපුම් තුවාල සහිතව නාන තොටුපළ අසල වැටී සිටි පිරිමියාත් වහා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
 නිමාලි කහවල