kaduwela-incident

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස ඝාතනයට ලක්ව සිටි කාන්තාවකගේ සිරුරක් පෙරේදා (27) දින දහවල් හමු වූ බව කඩුවෙල පොලිසිය පවසයි.මියගොස් සිටි කාන්තාව වැටී සිටි ස්ථානයේ පොළොව මත ලේ පැල්ලම් කිහිපයක්ම දක්නට ඇති බැවින් ද එම කාන්තාව සාමාන්‍යයෙන් පැලඳ සිටින  රත්තරන් ආභරණ ඇයගේ ශරීරයේ නොමැති බව ඥාතීන් පවසන බැවින් මෙය ඝාතනයක් ද යන්න සැක කරන බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අජන්තා කටුගම්පල නමැති 54 හැවිරිදි දෙදරු මවකි.

ඇය නිවස තුළ ඇඟලුම් නිෂ්පාදන සිදු කර ඇත. ඝාතනයට ලක් වූ බවට සැක කරන එම කාන්තාවගේ දුව සහ පුතා රැකියාවට ගොස් ඇති අවස්ථාවේ දී මෙම සිදුවීම වී ඇති අතර අසල්වාසී කාන්තාවක ඇයගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ලේ පැල්ලම් සහිතව බිම වැටී සිටි කාන්තාව දැක ඒ පිළිබඳව ඥාතීන් සහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක මහතා ප්‍රමුඛ නිලධාරින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර කඩුවෙල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ද ඇත.

 කේ. බුද්ධික කුමාරසිරි