keheliya-court

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ හා ජීවිතක්‍ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා – අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඊයේ (28) නියම කළාය.

' හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහිරිටොක්සි මැප්" නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා හෙට 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියම කළාය.



ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ' ඉමියුනෝ ග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණ ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත් වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ගිලන් රථයකින් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අම්‍ය කෙහෙළිය රඹුක්වැල් වෑන් රථයකින් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර මහර බන්ධනාගාරයේ රඳවා සිටින නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක බන්ධනාගාර වැන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන් වූ බව කියන ' අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිස් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.



ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝ ග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‛අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතු මුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් මෙම සිද්ධියේ පළමු සහ දෙවැනි සැකකරුවන්ගෙන් ආදර්ශ අත්අකුරු ලබාගෙන සැසදීම සඳහා ඒවා රජයේ සැක කටයුතු ලේඛන පරීක්‍ෂවරයාට යැවීමට ඉදිරියේ දී කටයුතු කරන්නේ යැයි කීවාය.


‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහිරිටොක්සි මැප්' නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්‍ෂණවල දී එම ද්‍රාවණ මනුෂ්‍ය ශරීරයට ඉතාමත් අහිතකර බව මෙන්ම එම ද්‍රාවණවලින් රෝගී තත්වයන් උත්සන්න විය හැකි බවට කරුණු අනාවරණය වූයේ යැයි කී ලක්මිණී ගිරිහාගම මෙනවිය 2022 මැයි 30 වැනිදාත් දෙසැම්බර් 04 වැනිදාත් අතර කාලයේ ලබාදුන් ටෙන්ඩර් අනුව පළමු සැකකරු විසින් වෛද්‍ය සැපයුම් අංශයට දුන් ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහ ‘රිටොක්සි මැප්’ නමැති ඖෂධ බෙදා හැරී රජයේ රෝහල් සහ එම රෝහල් වලින් එම ඖෂධ ලබා දුන් රෝගීන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහ ' රිටොක්සි මැප්' නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබා දුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා හෙට 30 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණී ගිරිහාගම මෙනවිය බාල බෙහෙත් දීමෙන් ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ද අධිකරණයට කැඳවීමටට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.



පළමු සැකකරු විසින් සැපයු ද්‍රාවණ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරීන්ගේ නාම ලේඛනයක් දීමට ද එම පරීක්ෂණයේ වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියම කරන්නැයි ලක්මිණි ගිරිහාගම මෙන විය ඉල්ලා සිටියාය.


මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අනු කමිටු හා ප්‍රධාන කමිටුවල පරීක්ෂණ වාර්තා රහස් පොලිස් බාරයට ගෙන කළ විමර්ශන වල දී පළමු සැකකරු විසින් දුන් යම් යම් ඇණවුම් වෛද්‍ය සැපයුම් අංශය විසින් යම් යම් හේතු මත ප්‍රතික්‍ෂේප කළ බව අනාවරණය වුයේ යැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාළ ඖෂධ ප්‍රතික්ෂෙප කළ හේතු මෙම නඩුවට ඉතා වැදගත්

වන හෙයින් අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට අනු කමිටු සභාපතිනියට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

එම සියලු ඉල්ලීම්වලට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරන ලබන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කළාය.මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය: රෝගීන්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රකාශ ගැනීමට අවසර ඉල්ලා ඇත්තේ ඇයි ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය: තමන් යටතේ ප්‍රතිකාර ලබන ස්නායු සහ පිළිකා රෝගීන්ට ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහ 'රිටොක්සි මැප්' නමැති ඖෂධ දීමට නියම කරන්නේ මෙම විශේඥ වෛද්‍යවරුන්. ඔවුන් එසේ ඖෂධ නියම කරන්නේ රෝගියාගෙන් යම් සාධනීය

ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් අපි එම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර ඉල්ලන්නේ මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ රෝගීන්ට දීමෙන් අන්තූරුව 'හියුමන් ඉමියුනෝග්ලොබිලීන් ' සහිරිටොක්සි මැප්" නමැති ඖෂධ රෝගීන්ට දීමෙන් අනතුරව ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබුණාද? යන්න තහවුරු කර ගැනීමටයි.


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම  මහත්මිය: මෙම නඩුවට අදාළව රහසිගත ප්‍රකාශයක් දුන් සැකකරුගේ ප්‍රකාශය අනුව යම් ඉදිරි පියවරක් ගත්තාද?


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය: නැහැ. ඔහු අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කළා.

11 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා සම්බන්ධයෙන් නීතිපතිවරයාට පිටපත් සහිතව අධිකරණයට ඇප ඇයැදුම් පතක් ඉදිරිපත් කළ බව දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව 10 සහ 11 වැනි සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ඉදිරි දින ප්‍රකාශට පත් කරන බව දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරිය නඩුවේ 03 වැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් නමැත්තියගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළාය.

අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුව යළි කැඳවන ලබන 08 වැනිදා තෙක් සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියට නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි, සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු, 61823 මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂ ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.

නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න, අනුජ ප්‍රේමරත්න, නීතිඥ අමිත ආරියරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.


 මනෝප්‍රිය ගුණසේකර