නවීන පන්නයේ ජංගම දුරකථන විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඒවා මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් කඩුවලින් කපා කොටා තුවාල සිදුකර ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් මුදල් පැහැරගෙන පලාගිය බව කියන සංවිධානාත්මක කල්ලියක අයකු ඊයේ (27) නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ බව නාරම්මල පොලිසිය පවසයි.

මෙසේ වෙඩිකා මිය ගොස් ඇත්තේ නාරම්මල, වීරගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂ් දුර රාල නමැති අයෙකි.කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

කඩු පහරකෑමෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි කෑගල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ඒ.ආර්.ඩී. ගුණවර්ධන සහ සේනාධීර නමැති අය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිල ගණන්වලට විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ පළ කර තිබෙන අයුරු දුටු රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම දෙදෙනා සහ සෙනරත් නමැති අයෙකු ඒවා මිලදී ගැනීමට අන්තරජාලයේ පළව තිබූ දුරකථන අංකයට කතා කර ඇතැයි පොලිසිය කියයි.

පොල්ගහවෙල ප්‍රදේශයට රාත්‍රී කාලයේ පැමිණෙන ලෙස රුවන්වැල්ලේ පදිංචි පුද්ගලයින් තිදෙනාට දැනුම් දුන් අවස්ථාවේ ඒ ගැන ඇති වූ සැකයක් මත ඔවුන් මේ බව රුවන්වැල්ල පොලිසියට දැනුම් දීමෙන් පසු රුවන්වැල්ල පොලිසිය මේ ගැන පොල්ගහවෙල පොලිසියට දැනුම් දී ඔවුන් දෙදෙනා එම පොලිස් ස්ථානයට පිටත් කර යවා ඇතැයි කියති.ප

ොල්ගහවෙල පොලිසියේ සැරයන් ලලිත් (66372), කොස්තාපල්වරුන් වන විජේවර්ධන (99757) සහ ඉන්දික (83005 ) යන මහත්වරුන් සමග මොවුන් තිදෙනා පොල්ගහවෙල ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඔවුන් තිදෙනාට නාරම්මල පොල් වත්තේගෙදර පන්සල අසල පිහිටි කුඹුරු යාය ළඟට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කුඹුරු යාය අසලට ගිය අවස්ථාවේ පුද්ගලයින් තිදෙනකු පැමිණ මොවුන්ට කඩු ප්‍රහාර එල්ල කර ජංගම දුරකථන මිලදී ගැනීමට රැගෙන ආ මුදල් කොල්ල කෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් තිදෙනා ඔවුන් අල්ලා මෙල්ල කර ගැනීමට ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.වෙඩිවැදී මියගිය පුද්ගලයා සහ පලාගිය පුද්ගලයා මෙවැනි ආකාරයට දැන්වීම් පළ කර පැමිණි පසු ගැනුම්කරුවන්ට පහරදී හෝ කඩුවලින් කොටා ඔවුන් සතු ලක්ෂ ගණන් වටිනා මුදල් පැහැරගෙන යෑමේ නිරතව සිටින අය බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.



වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ සහ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි රුවන් කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයුම යටතේ නාරම්මල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂ සමරකෝන් මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, දඹදෙණිය ධර්මසිරි රණසිංහ, අලව්ව සිසිර අබේකෝන් සහ ගයාන් සූරියආරච්චි