deepal-perera-speaks

අවදානම් කාණ්ඩ ලෙස සැලකෙන කුඩා දරුවන් ගර්භනී මාතාවන් වැඩිහිටියන් සහ දීර්ඝ කාලීන ලෙඩ රෝගවලින් පසුවන්නන් මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ තවදුරටත් වඩාත් සැලකිලිමත් වීම අනිවාර්යයැයි කොළඹ ඊජ්ජේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අධික රස්නයට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය හටගැනීමෙන් ක්ලාන්ත ගතිය,

සිහි නැතිවීම, වලිප්පුව වැනි රෝගි තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ජලය සහ තැඹිලි, දෙහි, සුප් වැනි ලවණ සහිත ද්‍රව්‍ය හැකි තරම් පානය කළ යුතු බවත් දීපාල් පෙරේරා මහතා කීවේය. එමෙන්ම නවතා ඇති මෝටර් රථ තුළ කුඩා දරුවන්, සුරතල් සතුන් රඳවා තැබීමෙන් ඔවුන්ගේ ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්ට දහඩිය බිබිලි කුෂ්ට ආදිය ඇතිවිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය. දවසට කිහිප වතාවක් ජලයෙන් සේදීම සහ තෙත රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කිරීමෙන් මෙම තත්වය අවම කර ගැනීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.වැඩිම අව්රශ්මිය පතිත වන්නේ පෙරවරු එකොළහේ සිට පස්වරු දෙකයි තිහ දක්වා බැවින් එම කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම අවම කර ගැනීම අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.



තදින් අව් රශ්මිය තිබියදී පාසල් දරුවන් එළිමහනේ රැදී සිටීම මෙන්ම රැකියාවැති පිරිස් වැඩමුර අවම වන ලෙස සකස් කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.වැඩ බිම් වලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, විවේක ගැනීම, නිවෙස් තුළ සිටින්න වැඩිහිටියන් සහ රෝගීන් පිළිබඳ සැලකිලිමත් වීම, එළිමහනේ අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම, සුදු හා ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම සිදු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා තවදුරටත් පැවැසීය.දිවයිනේ ප්‍රදේශ කීපයකට මේ දිනවල වැසි පතිත වුවද එය උෂ්ණත්වය අඩුවීමට තරම් තවම ප්‍රමාණවත් නැතැයිද කාලගුණ විද්‍යාඥයෝ පවසති.
 නිමල කොඩිතුවක්කු