chandrakumara-kandanarachchi-no-more

 ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) පෙරවරුවේදී මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත විය. කලක් තිස්සේ ඔහු පිළිකා රෝගයෙන් පීඩා වින්දේය. මියයන විට 76 වන වියෙහි පසුවිය. ගුවන් පියාසර ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන අතර විනෝදයට ගීත ගායනයට පිවිසි ඔහු පසු කලෙක දක්ෂ ගායකයෙකු හා තනු නිර්මාණ ශිල්පියෙකු ලෙස ප්‍රකට විය.



පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම්, නෙළුම් විලේ, සිතේ සතුට, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි ඇතුළු ගීත රැසක්
ඔහුගේ ජනප්‍රිය විය.ගීත රචකයකු සහ සංගීතඥයකු ලෙසද ඔහු දස්කම් දැක්වීය.
ඔහු තමා ගැන වරක් මෙසේ පවසා තිබේ.

“මම කුඩා කල හැදුනෙ වැඩුනෙ මහනුවර. කිංස්වුඩ් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ. පියා ගණකාධිකාරවරයෙක්. මව සමාජ සේවිකාවක්. මව සංගීත ගුරුවරියක් ලෙස කටයුතු කර තිබුණා. පියා ක්‍රිස්තු භක්තිකයෙක් ඒවගේම පල්ලියෙ ගායනාවන්ට එක්වූ අයෙක්. මේ දෙන්නගෙ ආභාසය මට ලැබුණා.
මං ලංකා ගුවන් සේවයේ සේවය කලේ. පියාසර ඉංජිනේරුවෙක් ලෙස. මට මාල දිවයිනේ සංචාරයකට ගියා දවසක් එසේ යන අතරේ ‘ඇගෙ සිනහව තහනම් ගීයට‘ අදාළ තනුව හැදුවා. මං කේඩීකේ ධර්මවර්ධන හමුවී මෙයට වචන ඉල්ලා සිටියා.


ඔහුගේ මුල් රචනාව තරමක් ගායනා කරන්න අපහසු වගේ වුණා. ඔහු නැවත කොලය හරවා කතිරයක් ගසා ඇගෙ සිනහව තහනම්.. ලෙස අලුත් වචන පෙළක් එක් කළා. තහනම් කියන වචනය එසේ ගත්තා. ඒ ගැම්ම නාටකයක් වගේ. අපූරු නිර්මාණයක් වුණා පසුව.
මගේ මවගෙත් පියාගෙත් සංගීත ඇල්ම මගේ වැඩිමල් සොයුරන් හතරදෙනාටත් ලැබුණා. වික්ටර් හා ටියුඩර් සොයුරන් නිසා ගුවන් විදුලියට මාත් සම්බන්ධවී ගායනයට පිවිසියා. 1973 දී මා කුඩා ඊපී තැටියක් නිකුත් කළා. ගම මහනුවරයි, ඇගෙ සිනහව තහනම් ආදී ගීත ඇතුළත් වුණා.“

දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.