copa-informs-CID-to-complain-about-102-spoiled-fish-containers

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රට තුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දෙන ලදි.

එසේම ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු මෙහෙයවන ලෙසද එම අවස්ථාවට සහභාගි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන ලදි.සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ තරක්වූ මාළු බහාලුම් සහිත නැවක් කොළඹ වරායෙන් රට තුළට ගැනීම පිළිබඳව විගණන විමසුමෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳ පරීක්ෂා කිරිම සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණ.

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර් 102ක් (මෙ.ටො 2700කට අධික) සහිතව ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු සීමාවේ කාර්මික දෝෂයකට ලක්වී ඇත. නෞකාවේ විදුලිය බිඳවැටීම නිසා මෙම මාළු නරක්වීමට ලක්ව ඇති බවත් අනාවරණය විය. ඒ අනුව නැව 2022.01.13 දින කොළඹ වරාය වෙත ළඟා වී ඇති අතර නැවෙහි අලුත්වැඩියා කටයුතු නිමවී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීම ඔස්සේ ගැටලු රැසක් ඇතිවී ඇති බවට විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා මෙහිදී කරුණු දක්වා සිටියේය.

හදිසි අවස්ථාවක නෞකාවට සිදුවන දෝෂයකදී ආසන්නතම වරායේ යම් පහසුකම් ලබා දීම සිදු කළද මෙරට රේගු ආඥා පනතට අනුව පළුදු වූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩරෝග සෑදෙනසුලු මාළුවර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම්” බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩබෑමට තීරණය කිරීම ඉතා ගැටලු සහගත බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.මෙම නරක්වූ මාළු මෙරටට ගොඩබෑම පවතින නීතියට පටහැණි බැවින් රේගුව විසින් පත් කරන ලද ඉහළ රේගු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත මෙරටට ගැනුම්කරුවකු, ආනයනයකරුවකු ලෙස යොදා ගනිමින් තව කස්ඩෙක් (CUSDEC) අවසරයක් ලබාගෙන මෙම බහාලුම් මෙරටට ගොඩබා ඇති බවත් මෙහිදී අනාවරණය විය. ආනයනය නොකළ බහාලුම් ආනයන ලෙස පෙන්වා දෙමින් මෙලෙස සිදු කිරීම වංචාවක් බවත් මෙහිදී සාකච්ඡා විය.



එසේම ආනයනයක් ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති ඉනිවොයිසියේ දිනය 2021.12.10 ලෙස සඳහන්ව ඇති බවත්, එය නැව වරායට පැමිණි 2022.01.13ට පෙර දිනයක් බවත් ඒ අනුව එය ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලන ජෙනරාල්තුමිය පැවසුවේ රේගු කමිටුවේ වාර්තාව පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත අදාළ ආයතනය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම මාළු ආනයනයට ඉල්ලීමක් යොමුවූ බවත්, ආනයන හා අපනයන පාලන පනත අනුව අදාළ අවසරය හිමි වූ බවත්ය.

බහාලුම් 102න් 4 ක් විනාශ කිරීමට ලක් කළ බවත්, ඉතිරි 98න් 43 ක් පොහොර නිපදවීම සඳහා යොදා ගත් බවත්, තවත් 40ක් ප්‍රතිඅපනයනය කළ බවත්, තවත් 15ක් මෙරට තවමත් ඉතිරිව පවතින බවත් මෙහිදී අනාවරණය විය.2023 ජූලි මාසයේදී සිදු කළ භෞතික පරීක්ෂාවකදී ඉතිරි වී ඇති බහාලුම් 15 ඇති නරක් වූ මාළුවලින් අධික දුගද වහනය වන බවට නිරීක්ෂණය වී ඇති බවද කාබනික පොහොර සෑදීමට යැයි පවසමින් රට තුළට ගත් මාළු බහාලුම් මෙලෙස ප්‍රතිඅපනයන කිරීමත් ගැටලු සහගත බවද සාකච්ඡා කෙරිණ.එසේම පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ලබාගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය, සැමන් නිෂ්පාදනය කිරීම වීම ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පැමිණ සිටි රේගු නිලධාරීන් පැවසුවේ එය ව්‍යාපාර දෙකක් බවත්, සැමත් සෑදීම සඳහා මෙම මාළු යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවත්ය.

දිනේෂ් සමරකෝන්