Controversies-in-Gotas-Book-Summary

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' නමැති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ ග්‍රන්ථයේ දැක්වෙන මතබේදාත්මක කරුනු කිහිපයක් සම්බන්ධයෙන් සාරාංශයක් මේ සමග පළවේ.මෙම ග්‍රන්ථය වෙළඳපොළට ඊයේ (7) නිකුත් කෙරිණි.



අරගලය උත්සන්න වීමත් සමග ආරක්ෂක හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ජුනි මස 8 වැනිදා ජනාධිපති මන්දිරයට ගෙන ඒමට තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති. ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.මේ අනුව ආරක්ෂක ලේකම් යුද නාවික ගුවන් හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ මෙහෙයුම් මැදිරියට ගෙන්වා ගත්ත ද ඉන් ප්‍රතිඵලයක් අත් නොවූ බවද ඔහු කියයි.

ගාලු මුවදොර විරෝධතා ආරම්භ වී දින කිහිපයකට පසු කොටුව ජනපති මන්දිරය ඉදිරිපිට චෛත්‍ය පාර අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ කරන බවට තමාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් තොරතුරු  ලැබුණු බවත් එම හැබීමෙන් පසු චෛත්‍ය පාරට ඇතුළුවන පිවිසුම අවහිර කිරීමට ට්‍රක් රථ කිහිපයක් එම ස්ථානයට ගෙනවිත් රැඳ වූ බවත් මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.මෙය සිදු වූ මොහොතේම යුරෝපීය තානාපතිවරුන් දෙදෙනකු මහත් කලබලයෙන් තමාට   කතා කර විරෝධතාකරුවන් ගාලු මුවදොරින් පලවා හැරීමට සූදානම් වෙනවා දැයි විමසා සිටි බවද පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන් ගාලු මුවදොර රැඳී සිටිනු දැකීමට ඔවුන් තුළ දැඩි උනන්දුවක් තිබුණු බවද ප්‍රකාශ කරයි.



තමා නෙරපීමට ගත් ක්‍රියාමාර්ග තුළ විදේශීය හස්තයන් ක්‍රියාත්මක නොවූ බවට විශ්වාස කළ හැක්කේ ඉතාමත්ම බොළඳ පුද්ගලයකුට පමණක් බව පවසන රාජපක්ෂ මහතා තමා බලයට පත්වීමට ඇතැම් විදේශ බලවේගවල මහත් කනස්සල්ලට හේතු වී තිබූ බවද පෙන්වා දෙයි.ඉකුත් 2019 නොවැම්බරයේ දී තමාට උරුම වූයේ බරපතළ ලෙස කඩා වැටුණු ආර්ථිකයක් බවත් කොවිඩ් වසංගතයත් සමග ඇති වූ විශාල ආර්ථික බිඳ වැටීමට මුහුණ දීමට මෙම ශක්තිය නොලැබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ග්‍රන්ථයේ සඳහන් කර ඇත.ශ්‍රී ලංකාව අත්විඳින ආර්ථික කඩාවැටීමට බාහිර ජාත්‍යන්තර හේතු කිසිවක් බල නොපෑ අතර එය සම්පූර්ණයෙන්ම ලංකාවේ අභ්‍යන්තර සාධක නිසා ඇති වූ තත්වයක් බවද ඔහු ප්‍රකාශ කරයි.

කාබනික ගොවිතැනට එරෙහිව ජනතාව විමුක්ති පෙරමුණ ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරයට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අසමත් වූ බව පවසන රාජපක්ෂ මහතා කාබනික ගොවිතැනට එරෙහිව කළ එක් ප්‍රචාරක ව්‍යාපාරයකින් තමාගේ රජය ගොවි ජනතාවගේ සතුරකු ලෙස හුවා දැක්වීමට එම විරුද්ධවාදීන් සමත් වූ බවද ප්‍රකාශ කරයි.මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන පක්ෂ නායකයකු ජනාධිපතිවරයා වශයෙන් කාබනික ව්‍යාපෘතිය ආරම්භ කළේ නම් දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීන් ද විවිධ සම්බන්ධතා ඔස්සේ එම වැඩපිළිවෙළට හවුල් වීමට ඉඩ තිබූ බවත් තමාගේ කාබනික ගොවිතැන් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගියේ මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් කිහිප දෙනකු පමණක් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.



අනෙකුත් සියලු දෙනාම එම වැඩපිළිවෙළේ ප්‍රේක්ෂකයන් වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.අරගල ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත් කිරීමේ අවශ්‍යතාවක් මතු වූ බවත් මුලින්ම තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර අගමැතිකම බාරගන්නා  ලෙස ඉල්ලා සිටි බවත්ගෝඨාභය රාජපක්ෂ මහතා එම ග්‍රන්ථයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක්   නොමැතිව රට  පාලනය කළ  නොහැකි බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඉන්පසු තමා සරත් ෆොන්සේකා මහතාට කතාකර අගමැතිකම භාරගන්නා ලෙසට ආරාධනා කළ බවත් අගමැති ලෙස පත් කරන බවට ප්‍රකාශයක් කර එතැනින් එහාට කටයුතු ඉදිරියට කරගෙන යමු යැයි ඔහු එහිදී පැවසූ බවත් රාජපක්ෂ මහතා කියයි. කෙසේ වෙතත් පිරිනැමූ තනතුර ඔහු එකවර පිළිගත්තේ නැතැයි ද ග්‍රන්ථයේ සඳහන් වේ.

ඒ අතරතුර සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තමා හමුවීමට පැමිණ ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නේ නම් පමණක් සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය බාර ගැනීමට කැමැති බව දන්වා සිටියේ යැයි පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා එම කොන්දේසිය පිළිගැනීමට තමා සූදානම් නොවුණු බවද සඳහන් කරයි.ඊට පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතාකර අගමැතිකම බාරගන්නා මෙන් ආරාධනා කළ බවත් ඔහු කිසිදු පැකිලීමකින් තොරව එම ධූරය භාර ගත් බවත් රාජපක්ෂ මහතා එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. මේ අතර විරෝධතාකරුවන් කොළඹට පැමිණෙද් දී සියලු ප්‍රවේශ මාර්ග අවහිර කිරීමෙන් ඔවුන්ගේ පැමිණීම වැළැක්වීමට පියවර ගත් නමුත් මාර්ග බාධක කොතැනකවත් ස්ථාපිත කර නොතිබූ බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ හේතුවෙන් උද්ඝෝෂකයන් කිසිදු අවහිරයකින් තොරව ජනාධිපති මන්දිරයට පැමිණි බවද ප්‍රකාශ කරයි.

ආරක්ෂක ලේකම් හා හමුදා ප්‍රධානීන් ජුලි 9 වැනිදා උදේ 10.30ට ජනාධිපති මන්දිරයෙන් පිටවිය යුතු බව තමාට දැනුම් දුන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. ආරක්ෂක අංශ නිලධාරීන්ගේ උපදෙස් පරිදි හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇඳුම් සහ වෙනත් දෙය සහිතව ගමන් මලු දෙකක් සූදානම් කර තිබූ බවත් එම ගමන් මලු රැගෙන පහළට පැමිණ වාහනවලට නගින විටත් උද්ඝෝෂණකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවී සිටි බවත් ඔහු සඳහන් කරයි.



සියල්ල සිදුවෙද්දී බැසිල් රාජපක්ෂ මහතා ද ජනාධිපති මන්දිරයේ සිටි බව පවසන හිටපු ජනාධිපතිවරයා ඔහුද තමාගේ වාහනයට නැගගත් පසු ජනාධිපති මන්දිරයේ පිටුපස ගේට්ටුවකින් අසල පිහිටි නාවික හමුදා කඳවුරට ඇතුළු වූ බවත් ප්‍රකාශ කරයි. උද්ඝෝෂණකරුවන් මන්දිරයට කඩා වදිනු නාවික කඳවුරේ රූපවාහිනී තිර වලින් දුටු බවත් නාවික හමුදාව වරායේ සීරුවෙන් තබා තිබූ යාත්‍රා දෙකකින් එකකට තමා ඇතුළු පිරිස ඉන් පසු ගොඩ වූ බවත් එම ග්‍රන්ථයේ සඳහන් වේ.

ඊට පසු අනෙක් යාත්‍රාව ප්‍රතිවිරුද්ධ දිශාවට යැවීමෙන් තමා ගමන් කරන්නේ කුමන යාත්‍රාවේදැයි පිටස්තර කිසිවකුටත් දැන ගැනීමට නොහැකි වන ලෙස සැලසුමක් යොදා තිබූ බව ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹ වරායෙන් පිටත් වූ ත්‍රිකුණාමලයට ගොස් නාවික හමුදා කඳවුරේ රාත්‍රියක් ගතකර පසුදා හෙලිකොප්ටරයකින් කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ එහි දෙවැනි රාත්‍රිය ගත කළ බව පවසන හිටපු ජනාධිපතිවරයා පසු දින රාත්‍රී හමුදාවේ යානයකින් මාලදිවයින කරා පියාසර කළ බව ද සඳහන් කරයි.

සංවිධානාත්මක ප්‍රචණ්ඩකාරි පිරිසකට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති මන්දිරයට පැමිණීමට හැකිවූයේ නම් එතන බරපතළ නීතිය හා සාමය බිඳ වැටීමක් සිදු වී ඇති බව පැහැදිලි යැයි ප්‍රකාශ කරන ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ බුද්ධි අංශ කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් සහිත තමා වැනි පුද්ගලයකු ජනාධිපති ධුරයේ සිටිය දී එවැනි දෙයක් සිදුවූයේ කෙසේදැයි බොහෝ දෙනා අසන ප්‍රශ්නයට පහසු පිළිතුරක් නැතැයි ද ප්‍රකාශ කරයි.

ප්‍රචණ්ඩත්වය මැඬපැවැත්වීමට එහි ආරම්භක අවධියේ දී ගනු ලබන ක්‍රියාමාර්ගවලට වඩා ප්‍රමාණයෙන් ඉහළ ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණු බවත් යුද හමුදාපති ඇතුළු ඇතැම් ප්‍රධාන නිලධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් එල්ල වී තිබූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නිසා එම අදියරේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අඩාල වන්නට ඇති බවත් සඳහන් කර කරයි.ගිලෙන නැවකින් තනිවම පැන ගියා යැයි ඇතැම් පිරිස් ප්‍රකාශ කළ ද තමා ඉල්ලා අස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකාව කිසිසේත්ම ගිලෙමින් පැවතියේ නැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම ග්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
සුජිත් හේවාජුලිගේ