Politicians-should-now-write-a-book-like-Why-the-country-was-attacked-Mihinthalaya-viharadhipa
මේ කාලයේ දේශපාලනඥයන් පොත් ලියනවා නම් ලිවිය යුතු වන්නේ "රටට හෙන ගැහුවේ ඇයි", "රට බංකොලොත් කළේ කවුද" යන පොත් බව මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.


උන් වහන්සේ මේ බව පැවසූයේ ඊයේ (07දා) මිහින්තලේ රාජමහා විහාරස්ථානයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී විහාරාධිපති හිමියෝ මෙසේ ද කීහ.

"1948 න් පස්සේ එක එක වේශයෙන් ආපු මනමාලයෝ ලංකාව නමැති මනමාලිය අද දූෂණය කරලා ඉවරයි. මොවුන් තමයි රට වැට්ටුවේ. රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයෝ කවුද කියලා ලෝකයාත්, ශ්‍රේෂ්ඨාධිකරණයත්, ජනතාවත්, කියලා තියෙන්නේ. රට වට්ටවන්න උදව් කරපු හැමෝම ත්‍රස්තවාදියෝ.අපේ පැත්තෙ හාදයෙක් කියනවා හැමදා නියං එක දා වැහි වලාවේ කියලා.


හැබැයි මීළඟ මැතිවරණයෙන් පස්සේ උඹලාට හැමදාම නියඟයම තමයි. උඹලට සාගතයෙන් මැරෙන්න වෙන්නේ මේ රටට කරපු දේට.2048 වනවිට රට සංවර්ධනය කරනවාලු. රටේ සම්පත් ඉන්දියාවට, චීනයට, ඇමෙරිකාවට, විකුණනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ මෙයාලට, රට පාවලා දුන්න පරදේශක්කාරයෝ. තව වසර 24 යනකොට ඔය මුත්තලා ටික මැරිලා. රනිල් හිටියොත් එයාට අවුරුදු අනූ නවයක් වෙනවා. බැසිල් කියන්නේ රට පාවලා දුන්න මනුස්සයෙක්. ඔහු කියනවා රට බංකොලොත් වෙච්ච එකට ඡන්දය දුන්න ජනතාවත් වගකියන්න ඕනෙලු. ජනතාව බෙල්ලට ලණුව දාගෙන හිර කරගන්න එපා. දැන් හිතනවා ඇති රට සුරපුරයක් කියලා. ඒ නිසා තමයි පැරෂූට්වලින් උඩින් ඇවිල්ලා ලංකාවට බහින්නේ. මේ එන්නේ රට සුඛිත මුදිත රටක් කරන්න.



මහා බැංකුව දෙපාරක් මංකොල්ල කෑවා. රනිල් වික්‍රමසිංහගේ කාලේ එක පාරක් මංකොල්ල කෑවා. දැන් දෙවෙනි පාරට නැවතත් මංකොල්ල කාලා. මෙයාලට වගේ වගක් නැහැ. ක්‍රිකට් එකයි මහ බැංකුවයි ස්වාධීනයිලු. වෙන රටකනේ මේවා තියෙන්නේ.වික්‍රමසිංහ හැමතිස්සෙම කියන්නේ වැල් පාලමේ ගීතය. දැන් අතුර ගැන කියනවා.ගුවන් ඇමති කියනවා මනමාලයෙක් අන්දගෙන එනවා අපේ මනමාලිව හොඳට අන්දලා තියන්නලු. කොහොම ඇන්දුවත් ගුවන් සමාගම විකුණන්න බැහැ. මේක මර උගුලක්. ණය ගොඩක්. මේ ණය ගත්තේ අපේ ගමේ පොඩි මිනිහද. පොඩි මිනිහද හොරකම් කළේ, කොමිස් ගැහුවේ?. මෙයාලා දිනුවත් ඇමති. පැරදුණත් ඇමති. විපක්ෂයේ හිටියත් ඇමති. ලැජ්ජාවක් නැතුව තවමත් විරිත්තනවා”.

තිරප්පනේ -සමන් කේ. ගමගේ