malwathuhiripitiya-murder

හාමුදුරුවො ළඟ තියෙන මැණික විකුණලා ගන්න සල්ලි බෙදාගනිමු කියලා කොන්ත්‍රාත්තුව දුන්න අයට වෙච්ච පොරොන්දුවට හාමුදුරුවන්ට වෙඩි තිබ්බා යැයි මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරයේ වැඩවිසූ කලපලුවාවේ ධම්මරතන හිමි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද දින පොලිස් වෙඩි පහරින් මියගිය පුදගලයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.



යුද හමුදා කමාන්ඩෝ බළකායේ සේවය කර ඉන් ඉවත්ව මෙම සැකකරු පාතාලයට එක්වී මිනිස් ඝාතන කීපයක් සිදුකර ඇති බවද හෙළිවී තිබේ.


හම්බෙගමුව ප්‍රදේශයේ සැඟවී සිටියදී මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්ව තිබුණි.
නිධානයකින් ලබාගත් මැණික් ගල් කීපයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම හිමිනමගේ ඝාතනය සිදුවී ඇති අතර සැලසුම මෙහෙයවා ඇත්තේ, මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් දෙදෙනකු වන අතුරුගිරියේ ලැටා සහ බත්තරමුල්ලේ බන්ටි යන අය බව පොලිසිය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ධම්මරතන හිමියන් සඟවාගෙන සිටි මැණික ලබාගැනීමෙන් පසුව එම හිමියන් වෙඩි තබා ඝාතනය කරන ලෙස ඩුබායිහි සිටින ලැටා සහ බන්ටිගෙන් තමන්ට උපදෙස් ලැබුණු බවයි.

ඒ අනුව උන්වහන්සේ සතුව තිබූ වටිනා මැණික ලබාගැනීමෙන් පසු තමන් ධම්මරතන හිමියන්ට වෙඩි තැබූ බව ද සැකකරු ප්‍රකාශ කර තිබේ.



යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ බලිතොවිල් කිරීමට ප්‍රසිද්ධියක් ඉසිලූ ධම්මරතන හිමියන් මෙම පාතාල මැරයන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් ඝාතනය වූයේ ඉකුත් ජනවාරි මස 23 වැනිදා පෙරවරුවේය.
ඩුබායි හි සිටින ලැටා සහ බන්ටිගේ උපෙදස් මත මෙම හිමියන් ඇතුළු පිරිසක් විසින් නිධානයක් හාරා මැණික් ගල් තොගයක් ලබාගෙන ඇත.
එම මැණික් ගල් විකිණීමේදී ධම්මරතන හිමියන් සහ පාතාල සාමාජිකයන් අතර ආරවුලක් හටගෙන තිබිණි.
ධම්මරතන හිමියන් ඝාතනයට ලක්වන්නේ එම ආරවුල මුල්කරගෙනය. ලැටා සහ බන්ටි ලබාදුන් මුදල් කොන්ත්‍රාත් මත මෙම ප්‍රධාන සැකකරු මීට පෙර මිනිස් ඝාතන 3 ක් කර ඇති බව හෙළිවී තිබේ.
මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.
සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව අද උදේ පොලිසිය පැවසීය.සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුධ සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති බවත් එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගිය බවත් පොලිසිය පවසයි.
මෙම හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.