Rot-Violet-is-guarding-a-dog-in-a-super-house

රොට් වයලර් වර්ගයේ සුනඛයකු ආරක්ෂාවට යොදවා බිංගිරිය, තාරණ, උඩවෙල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවෙසක ගෑස් යොදා ගනිමින් මහා පරිමාණයෙන් කසිප්පු පෙරා විකිණීමේ ජාවාරමක නිරතව සිටියේ යැයි කියන අඹු සැමි යුවළක් කුරුණෑගල රිදීගම පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගනු ලැබූහ.සුනඛයාගේ ආරක්ෂාව ලබා ගැනීමට

අමතරව මෙම සුපිරි නිවෙස වටා සී.සී.ටී.වී. කැමරා 16ක්ද සවිකර පොලිස් නිලධාරින් පැමිණෙන්නේ දැයි නිරීක්ෂණය කරමින් කසිප්පු ජාවාරම් කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වැටලීම් වලට එන පොලිස් නිලධාරීන්ට මෙම සුනඛයා උසිගන්නවන බවද කියති.

කසිප්පු පෙරීමට පදම් කරන ලද ගෝඩා අඩංගු විශාල ප්‍රමාණයේ බැරල් හතරක්, ගෑස් සිලින්ඩරයක් සහ කසිප්පු පෙරීමට යොදා ගන්නා තඹ දඟරයක් ඇතුළු උපකරණද මෙම වැටලීමේදී පොලිස් බාරයට ගෙන ඇත. කසිප්පු ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැලකෙන මෝටර් රථයක් සහ කසිප්පු ජාවාරමෙන් උපයා ගන්නා ලදැයි කියන රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේවා පොලිස් බාරයට ගත් බවද එම නිලධාරියා කීය.කුලියාපිටිය කඳානේගෙදර පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම සුපිරි නිවස වැටලීමට ගිය අවස්ථාවේ සුනඛයා උසිගන්වා දොර ජනෙල් වසා දමා නිවසට ඇතුළු වීමට සැකකරු සහ සැකකාරිය බාධාකර ඇතැයි කියති.



කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාට මේ බව දැන ගැනීමට ලැබීමෙන් පසු කුරුණෑගල, රිදීගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.කේ. කේ. සුභ සිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්  කණ්ඩායමක් බිංගිරිය ප්‍රදේශයට පිටත් කර යවා පළමුව උපක්‍රමශීලීව සුනඛයා එම නිවසට යාබදව පිහිටි ඉඩමකට ඇතුළු කර කොටු කර තබා මෙම වැටලීම සිදු කර ඇත.

ශ්‍රීනාත් පුසන්න ජයසූරිය