aragalaya-court

අරගලයට සහාය පළ කරමින් කොළඹ ලිප්ටන් වටරවුම අසල පැවැත් වූ උද්ඝෝෂණයක දී තමන් නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කිරිම වෙනුවෙන් වන්දි ඉල්ලා සමාජවාදී තරුණ සංගමයේ සාමාජික තරුණියන් දෙදෙනෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) ප්‍රතික්ෂේප කළේය.



තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන වීඩීයෝ පටය නැරඹූ විනිසුරු මඬුල්ල තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ දී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී නැතැයි තීරණය කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන,

ජනක්ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් වන මෙලනී වසන්තා සහ දිලීපා තිරංගා නමැත්තියන් ගොනුකර තිබූ පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් මරදාන සහ කොටුව පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

2022 සැප්තැම්බර් 24 වැනිදා අරගලයට සහයෝගය දක්වමින් සමාජවාදී තරුණ සංගමය කොළඹ ලිප්ටන් වටරවුම අසල දී කළ උද්ඝෝෂණයේ දී පොලිසිය තමන් අමානුෂික අන්දමින් අත්අඩංගුවට ගන්නා ලදැයි සඳහන් කරමින් පෙත්සම්කාරියන් මෙම පෙත්සම ගොනුකර තිබිණි. පෙත්සම් අධිකරණයක හමුවේ සලකා බැලූ අවස්ථාවේදී

වග උත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රවීන්ද්‍ර වික්‍රම මහතා කරුණු දක්වමින් අධිකරණයේ ප්‍රදර්ශනය වූ වීඩියෝ පටය අනුව පෙත්සම්කාරියන්ට කිසිදු හිරිහැරයක් වී නොමැති බවත් ඔවුන් සාමදානව පොලිසියට රැගෙන ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම්කාරියන්ගේ කිසිදු මූලික අයිතිවාසිකම් කඩ වී නොමැති හෙයින් මෙම පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියේය.ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.

රන්ජන් කටුගම්පොළ